ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි මහානාමය, මාපියන් විසින් අනුකම්පා කරන ලද කුලපුත්‍රයාට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේ ය”යි වදාළ සේක. මාපියන්ගේ අනුකම්පාව ලැබීම මාපිය උපස්ථානයේ එක් අනුසසෙකි. මාපිය උපස්ථානය කරන සත්පුරුෂයාට අන්‍ය සත්පුරුෂයෝ ද අනුකම්පා කරති. පසසති. ඇතැම් සොරු පවා මාපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නො ගැනීමෙන් ඔහුට අනුකම්පා කෙරෙති. සමහර විට රෞද්‍ර වූ යක්ෂ රාක්ෂසයෝ පවා මා පිය උපස්ථානය කරන්නාට අනුකම්පා කරති. දෙවියෝ ද අනුකම්පා කරති. සුතන නම් වූ දුගී පුරුෂයා මාපිය උපස්ථානය කළ නිසා යක්ෂයාගෙන් අනුකම්පාව ද ලබා පොහොසතෙක් ද විය. සාම කුමාරයෝ මාපිය උපස්ථානය නිසා රාජ කරුණාව හා දේව කරුණාව ද ලැබූහ.
“යෙ මාතරං වා පිතරං වා - මච්චො ධම්මේන පොසති
ඉදෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති”
යම් මිනිසෙක් මව හෝ පියා හෝ දැහැමින් පෝෂණය කෙරේ ද ඔහුට මෙලොව නුවණැත්තෝ පසසිත. හේ මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටුවේ ය, යනු එහි තේරුමයි.