සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්මරත්න ය යි.
එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතර ය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමි ඵලය, අර්හත් ඵලය යන සතර ය. මේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්‍ය්‍ය කොට, තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවය ය.
පිටකත්‍රය යනු විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුන ය.
එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය ය. එය පාරාජික පාළිය ය, පාචිත්තිය පාළිය ය, මහාවග්ගපාළිය ය, චූලවග්ග පාළිය ය, පරිවාර පාළිය ය යි ප්රකරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසිඑක් දහසෙකි.
සූත්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනය කළා වූ, සාමාන්‍ය දේශනා සමූහය ය. ඒ සූත්‍ර පිටකය දීඝ නිකාය ය, මජ්ඣිම නිකාය ය, සංයුත්ත නිකාය ය, අඞ්ගුත්තර නිකාරය ය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ.
එහි දීඝ නිකාය සූත්‍ර සූතියකින් හා බණවර සිවු සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර එක්සිය දෙපනසකින් හා බණවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්ත ය. අඞ්ගුත්තර නිකාය සූත්‍ර නව දහස් සත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්රන්ථ සමූහයකි. ඛුද්දකපාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්තනිපාතය, විමානවත්ථු පාළිය, පේතවත්ථු පාළිය, ථෙරගාථා පාළිය, ථෙරිගාථා පාළිය, ජාතක පාළිය, නිද්දේස පාළිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංසය, චරියා පිටකය, යන මේ ප්රකරණ පසලොස ඛුද්දක නිකාය ය. සූත්‍රපිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව්ලොව වස් තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය, අභිධර්ම පිටකය ය. ධම්මසංගණීපකරණය, විභංග පකරණය, ධාතුකථා පකරණය, පුග්ගල පඤ්ඤත්ති පකරණය, කථාවත්ථු පකරණය, යමක පකරණය, පට්ඨාණ පකරණය යි අභිධර්ම පිටකයෙහි ප්රකරණ සතෙකි. එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසෙකි.