අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද එසේ ම ය. එසේ හෙයින් ඒ රත්නත්‍රය අපට පිහිට වන්නේ කෙසේ ද යන ප්රශ්නය මෙහි ඇති වේ. එබැවින් රත්නත්‍රය සත්ත්වයනට පිහිට වන ආකාරය සැකෙවින් දක්වනු ලැබේ.
එක් එක් පුද්ගලයකුට පිහිට වන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිට වන්නේ ද එක් ආකාරයකින් නොව නොයෙක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදකු රෝගියකුට පිහිට වන ආකාරයෙන් හා කුඹුරක් ගොවියකුට පිහිට වන ආකාරයෙන් ද ලෝකයාට පිහිට වන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුරු කර ගැනීමට වෙද මහතකුගේ පිහිට වුවමනා ය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත් ගත යුතුය මේ මේ ආහාර ගත යුතුය, මේ මේ ආහාර නො ගත යුතුය යි අනුශාසනයක් කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේ ද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේ ද නො වේ. රෝගියා ඒ සියල්ල ම තමා විසින් කර ගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවා ගෙන හෝ රෝගය සුව කර ගනී. එහෙත් රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙද මහතා සුව කෙළේ ය යයි කියයි. සියල්ලෝ ම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප්‍රධාන හේතුව වූ නිසාය. වෙද මහතා ගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප්‍රධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කළේ ය යි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ ය යි ද කිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍රමය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි ක්‍රියා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් කැමැත්තෝ ද උන් වහන්සේගේ අනුශාසනය පරිදි ක්‍රියා කොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේ ගේ අනුශාසනය ම ප්‍රධාන වේ. එබැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට ව සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.
කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපකාරී වීම් වශයෙන් පිහිට වන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මහත් වූ වීර්‍ය්‍යයෙනි. ගොවියා ගේ ප්‍රයෝජනය පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නො කරන්නේ ය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාට වී නො ලැබිය හැකි බැවින්, කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිට වන්නක් සැටියට සැමදෙන ම පිළිගනිති. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසා ම ය. ව්‍යායාමයක් නැති බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම්, මනුෂ්‍යයෝ එය වටිනා වස්තුවක් ලෙස නො පිළිගනිති. සකල පාපමලාපගමයෙන් සුපරිශුද්ධ වූ ද, අර්හත් සර්වඥත්වාදී අපරිමිත ගුණ සාරයෙන් සාරවත් වූ ද, සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින් නමැති උත්තම වස්තුව ලා දීමෙන් සත්ත්වයනට පිහිට වන්නා වූ කුඹුරෙකි. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත්‍රය පවා නොයෙක් වර දෙව් මිනිස් සැප ලැබීමට හේතු වන කුශලයෙකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුශලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතු වන කුශලයෙකි. ඒ මහත් වූ කුශලය තමාගේ ම උත්සාහයෙන් ලබා ගන්නක් වන නමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති නමුත්, තථාගතයන් වහන්සේ ලොව පහළ නො වී නම් සත්ත්වයනට ඒ කුශලය ලබා ගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිට වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයනට පිහිට වන බව දත යුතු ය.
අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ම නිවන් ලැබිය හැකි ව තිබුණේ ය. උන් වහන්සේ එදා ලැබිය හැකි ව තිබූ නිවන සත්ත්වානුකම්පාවෙන් හැර සසරට පිවිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළ සේක. එය කරන ලදුයේ සත්ත්වයනට පිහිට වනු පිණිස ම ය. දැන් අපට පිහිට වන්නා වූ අපගේ මාපියාදි කිසිවෙක් අපට දුකක් පැමිණි කල ඉන් අප මුදවා ගනු පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳකුදු මස් කළඳකුදු වියදම් නො කරන්නාහ. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනය ද, අඹුදරුවන් ද, තමන් වහන්සේගේ ඇස් ඉස් ලේ මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක. එ බැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිට වනු පිණිස කළ ක්‍රියා රාශිය ද ඉතා මහත් බව දත යුතු ය. එය මෙතෙකැයි ප්‍රමාණ කරන්නට ද නුපුළුවන.
ධර්මරත්නය සත්ත්වයනට පිහිට වන ආකාරය මෙසේ ය: ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, එය ලබා ගත් තැනැත්තා සතර අපායෙන් හා ජාති සතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුඃඛයෙන් ද එතර කොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්‍ය්‍ය ශ්රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුඃඛස්කන්ධය මහ පොළොවේ පස් සමූහය මෙන් ද, ඔහුට ඉතිරි දුඃඛය කෙනකු විසින් මහපොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පය මෙන් ද දත යුතු ය. සකෘදාගාමී මාර්ගය එක් වරකින් මතු කාම ලෝකයේ ඉපද ලබන්නට වන දුඃඛ ස්කන්ධයෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අනාගාමි මාර්ගය, මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අර්හත් මාර්ගය, මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුඃඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මය වනාහි සකල සාංසාරිකාපායික දුඃඛස්කන්ධය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පිහිට වේ. දුක් නැති කර ගැනීමට ඇත්තා වූ උසස් ම පිහිට ඒ නිවන ය. පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත පිටකත්‍රය ධර්මය වනාහි සියලු දුක් නැති කර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ගය දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිට වේ.
සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන් ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදි පුණ්‍ය කර්මයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන් ද සත්ත්වයන්ට පිහිට වේ.