පිරිනිවියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේ දී සම් මස් නහර සියල්ල කිසිවක් ශේෂ නො වී කපුරු මෙන් දා ගියේ ය. අස්ථීහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවී ඉතිරි වූ ධාතූන් වහන්සේලා සත් නමෙකි. ඔවුහු නම් : දළදා සතර නම ය, අකුදා දෙ නමය, ලලාට ධාතූන් වහන්සේය යන මේ ධාතූන් වහන්සේලා ය. විසුරුණා වූ ධාතූන් වහන්සේලාගෙන් මහත් ධාතූහු මුං පියලි පමණ වෙති. මධ්‍යම ධාතූහු කඩ සාල් පමණ වෙති. කුඩා ධාතූහු අබ ඇට පමණ වෙති. පැහැයෙන් මහත් ධාතූන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතූන් වහන්සේලා මඳක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතූන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ.
තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතූහු දස නැළියක් පමණ වූහ. මධ්‍යම ධාතූන් වහන්සේලා ද එ පමණ ම වූහ. කුඩා ධාතූන් වහන්සේ දොළොස් නැළියක් වූහ.
තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතූන් වහන්සේලා ශාසනයාගේ ආයුෂය වූ අවුරුදු පන්දහසක් මුළුල්ලෙහි නො නැසී පැවතී පන්දහස පිරෙන තැන දී සියල්ල ම මහබෝ මැඩට එක් ව බුදුරුවක් වී ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා අතුරුදහන් වන්නාහ.