බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,
“එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණ පරලොකස්ස - නත්ථි පාපං අකාරියං”
යනුවෙන් වදාරා තිබේ.
“සත්‍යය නමැති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නොකළ හැකි පවක් නැත ය” යනු එහි තේරුමයි.
සෑම ආගමක ම පව් ලැයිස්තුවක් ඇත්තේ ය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකීම ඒ සියල්ලට ම ඇතුළත් ය. සියලු ම ශාස්තෘවරයෝ වෙනසක් නැති ව බොරු කීම පාපයක් බව ප්‍රකාශ කළෝ ය. ලෝකයේ නුවණැති සියල්ලෝ ම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නා ද පිළිකුල් කරති. අප මහ බෝසතාණන් වහන්සේ විසින් සමහර අවස්ථාවල දී පව් කර තිබේ. එහෙත් අනුන්ට අනර්ථයක් වන්නා වූ බොරුවක් විවරණ ලැබීමෙන් පසු උන් වහන්සේ නො කී බව දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බොරු කීම අන්පව්වලට වඩා ලාමක පාපයක් වශයෙන් උන් වහන්සේ සැලකූ බව ය. බොරු කීමට බිය නොවන ලජ්ජා නො වන තැනැත්තා ගුණවතෙක් නො වේ. දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරි ව තුබූ දිය ස්වල්පයක් රහල් හොරණපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණ කම ද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පය ද ඉවත ලා රහල් හෙරණපාණන්ට දක්වා රාහුලය! බොරු කීමට ලජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම අහක දමන ලද්දක් වේවයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මුනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලජ්ජා නැතියහු ගේ මහණකම මෙසේ මුනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලජ්ජා නැති මහණුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ ය යි වදාළ සේක. බොරු කීමෙන් නො වැළකෙන්නකු කෙතෙක් ගුණධර්ම රැකියත් ඒවායේ වටිනා කමක් නැත්තේ ය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!