අසන්නා වූ අනුන්ගේ සිත් රිදවන්නා වූ වචනය පරුෂ වචන නම් වේ. පරුෂ වචන කීම් වශයෙන් ඇති වන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයට ද ඒ නම ම කියනු ලැබේ. අංගු තුනක් සම්පූර්ණ වීමෙන් පරුෂ වචන කර්මය වේ. (1) ආක්‍රෝෂ කළ යුතු කෙනකු වීම ය. (2) ක්‍රෝධ සහගත සිත් ඇති වීම ය. (3) අනුන්ගේ සිත් රිදවන වචන කීමය යන මොහු එහි අඞ්ගයෝ ය. ආක්‍රෝෂ කොට සිත රිදවීමට කෙනකු නැති ව, සිත රිදවීමට කියන වචන තනිව කීමෙන් පරුෂ වචන කර්මය සිදු නො වේ. දුෂ්ට සිතින් තොරව පරුෂ වචන කීයේ ද පරුෂ වචන කර්මය සිදු නො වේ. එක් දරුවෙක් මව වළක්වද්දී මවට අකීකරුව වනයට යන්නට පිටත් විය. දරුවාගේ ගමන වැළැක්විය නුහුණු කල්හි මව “වනයේ දී කුළු මීදෙනන තා පස්සේ එනවා” ය යි දරුවාට ආක්‍රෝෂ කළාය. එදා වනයේ දී ඒ ළමයාට අණින්නට කුළු මීදෙනක් ලුහු බැඳ ආවාය. එ කල්හි ළමයාට මවගේ කීම සිහිවී මාගේ මව යමක් කීවා නම් එය මට නොවේවා, යමක් සිතුවා නම් එය ම මට වේවා”යි සත්‍යක්‍රියා කෙළේය. එකෙණෙහි ම මී දෙන නැවතුනාය. ඒ මවගේ කීම පරුෂ වචනයක් වුව ද ඇගේ සිත මෘදු බැවින් දරුවාට එබන්දක් වෙනවාට ඇය නො කැමති බැවින් එයින් පරුෂවචන කර්මයක් නො වේ. එසේ ම දුෂ්ට සිත නැති ව කියන කවර වචනයකින් වුවද පරුෂ වචන කර්මය සිදු නො වන බව දත යුතු ය.