වේදනානුපස්සනා සතිපට්ඨානය

සුඛ වේදනාව, දුඃඛ වේදනාව ය, අදුඃඛමසුඛ වේදනාව ය යි වේදනා තුනෙකි. සාමාන්‍ය ජනයා විසින් සැපය ය කියා ද, සනීපය කියා ද සමහර විට හොඳ ය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට ලැබීමට පිළිගැනීමට කැමති වන්නා වූ ස්වභාවය සුඛ වේදනාව ය. දුක ය කියා ද, රිදුම ය කියා ද, නරකය කියා ද, ව්‍යවහාර කරන්නා වූ ඉවසීමට දුෂ්කර වූ පිළිගැනීමට ලැබීමට නො කැමති වන්නා වූ ස්වභාවය දුඃඛ වේදනාව ය. සැපත් නො වන දුකත් නො වන මධ්‍යස්ථ ස්වභාවය අදුක්ඛමසුඛ වේදනාව ය. උපේක්ෂා වේදනාව යනු ද එයට ම කියන අනෙක් නමෙකි. තෙ වැදෑරුම් වූ ම මේ වේදනාව සිත හා බැඳී උපදනා වූ පවත්නා වූ එක්තරා ස්වභාවයෙකි. තවත් ක්‍ර‍මයකින් කියතහොත් චෛතසික ධර්මයෙකි. වේදනා තුනෙන් සුඛ දුඃඛ වේදනා දෙක ඉතා ප්‍ර‍කට ය. උපේක්ෂා වේදනාව අප්‍ර‍කට ය. එබැවින් එයට ජනයා වැඩි සැලකිල්ලක් නො දක්වති. උපේක්ෂා වේදනාව සුඛ වේදනා දුඃඛ වේදනා දෙකට අනුව සිතා දත යුත්තෙකි. සුඛ වේදනා දුක්ඛ වේදනා දෙකින් එකකුදු නැති කල්හි සිත්හි ඇති ස්වභාවය උපේක්ෂා වේදනාව ය.

වේදනාව සැම දෙනා ම හඳුනන සැම දෙනාට ම ඉතා ප්‍ර‍කට දෙයක් වුව ද එහි සැබෑ තත්ත්වය සාමාන්‍ය ජනයා නො දනිති. එ බැවින් මම සැප විඳිමි ය, මම දුක් විඳිමි ය, අසවලා සැප විඳීය, අසවලා දුක් විඳීය යි වේදනාව ගැන ආත්ම සංඥාව ද, සත්ත්ව පුද්ගල සංඥාව ද, ඔවුනට ඇති වේ. විඳින්නේ මම ය කියා සත්කාය දෘෂ්ටිය ඇති වේ. තවත් ලෝභාදි බොහෝ ක්ලේශයෝ ද වේදනාව නිසා උපදිති. සුඛ වේදනාව ලැබීම සඳහා ද දුඃඛ වේදනාවෙන් මිදීම සඳහා ද සත්ත්වයෝ නොයෙක් පව් කම් කරති. බොහෝ දුක් ඇත්තා වූ සසරට, සුඛ වේදනාව නිසා ඇලුම් කෙරෙති. අනිත්‍ය වූ සුඛ වේදනාවේ අභාවප්‍රාප්තිය ගැන දුක් වෙති. තැවෙති. අනිත්‍ය වූ සුඛ වේදනාව නිත්‍ය කර ගැනීමට වෙහෙසෙති. වේදනාව පිළිබඳ වූ මුලාව නිසා සත්ත්වයනට සසර දුකින් මිදී නිවන් දැකීමට දුෂ්කර වී තිබේ.

පස් කම් සුවයෙහි ඇලී ගැලී සිටින එය ම සොයමින් සිටින ගිහියන්ට තබා, සසර කලකිරී පැවිදි ව වන ගත ව වෙසෙන පැවිද්දන්ට ද, වරින් වර ඔවුන් කෙරෙහි ඇතිවන්නා වූ සුඛ දුඃඛ වේදනාවන් නිසා තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදි බොහෝ ක්ලේශයෝ උපදිති. දුඃඛ වේදනාව නිසා බොහෝ යෝගාවචරයෝ යෝගය හැර දමති. යෝගාවචරයනට සුඛ වේදනාව නිසා කාමච්ඡන්ද නීවරණය ඇති වේ. දුඃඛ වේදනාව නිසා ව්‍යාපාද නීවරණය ඇති වේ. උපේක්ෂා වේදනාව නිසා ථීනමිඬ නීවරණය හා අවිද්‍යා නීවරණය ඇති වේ. සාමාන්‍යයෙන් වේදනාව නිසා නීවරණ සියල්ල ම ඇති වන බව කිය යුතුය. ඒ සියල්ල ම වන්නේ වේදනාවේ සැබෑ තත්ත්වය නො දැනීම නිසා ය. වේදනා පිළිබඳ මුළාව දුරු වීම පිණිස සැම දෙනා විසින් ම එක්තරා ප්‍ර‍මාණයකින් වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩිය යුතු ය. එය යෝගාවචරයන් හට මූල කර්මස්ථානය කර ගැනීමට සුදුසු නැත. කායානුපස්සනාව මූල කර්මස්ථානය කරගත යුතු ය. වේදනානුපස්සනාව අතිරේක භාවනාවක් වශයෙන් කළ යුතු ය. වේදනානුපස්සනා භාවනාවය යනු වේදනාවෙහි සැබෑ තත්ත්වය සොයා ගෙන, එය නැවත නැවත මෙනෙහි කිරීම ය.

වේදනාවේ සැබෑ තත්ත්වය මෙසේ ය. වේදනාව සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. සත්ත්වයකු පුද්ගලයකු විසින් උපදවන්නක් ද නො වේ. සත්ත්වයකු විසින් ඉපදවිය හැකියක් ද නො වේ. එය හේතූන්ගේ සංයෝගයෙන් ඇති වන්නකි. ඇති වූ වහා බිඳී යන්නකි. නො බිඳී පැවතිය හැකි ශක්තියක් වේදනාවට නැත. උපන් වේදනාවකට බිදෙන්නට නොදී පැවැත්විය හැකි, රැකිය හැකි, ශක්තියක් කාහටවත් නැත. වේදනාව අනිත්‍ය ධර්මයෙකි. දුක්ඛ ධර්මයෙකි. අනාත්ම ධර්මයෙකි.

ආලෝකය ඇති කල්හි ඇස ඉදිරියේ තිබෙන වස්තු පෙනෙන්නේ ය. පෙනීම ය යනු ඒ ඒ වස්තූන් පිළිබඳ ව දැනුමක් ඇති වීම ය. ඒ දැනුමට ආගමික පොත්වල දැක්වෙන නම චක්ඛුවිඤ්ඤාණය යනු යි. චක්ඛුවිඤ්ඤාණයට ලෝකයෙහි දැකීම යයි ද පෙනීම ය යි ද කියති. ඒ පෙනීම කිසිවකු විසින් ඇති කරන්නා වූ දෙයක් නො වේ. කිසිවකු විසින් ඇති කළ හැකි දෙයක් ද නො වේ. මම දකිමි යි සිතීම වැරදි හැඟීමෙකි. අනිකා දැකීම යි සිතීම ද වැරදි හැඟීමෙකි. මේ දැකීම පුද්ගලයා විසින් කරන්නක් නම්, චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම්, පුද්ගලයාට දැකීම සිදුවන්නට නො දී, චක්ඛු විඤ්ඤාණයට උපදින්නට නො දී සිටිය හැකි විය යුතු ය.

ඇස ඇත්නම්, ආලෝකය ඇත්නම්, ඇස ඉදිරියේ රූප ඇති නම්, දැකීම සිදුවීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට වැළැක්විය නො හැකි ය. නො පෙනේවා යි කොතෙක් සිතුවත් පෙනීම සිදුවන්නේ ම ය. ඉදින් දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නම් ඔහුට එය නූපදවා සිටිය හැකි විය යුතු ය. ඔහුට එය නො වැළැක්විය හැක්කේ, ඇස ඉදිරියේ ඇති රූප නො දැක සිටිය නො හැක්කේ, දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන්නක් නො ව, අන් හේතුවකින් ඇති වන්නක් බැවිනි.

චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන, පුද්ගලයා අයත් දෙයක් නම් දුර තිබෙන රූප ද ඔහුට දැකිය හැකි විය යුතු ය. එය නො කළ හැකි වන්නේ ද චක්ඛුවිඤ්ඤාණය පුද්ගලයා විසින් උපදවන පුද්ගලයාට අයත් දෙයක් නො වන බැවිනි. මේ දැකීම හෙවත් චක්ඛුවිඤ්ඤාණය, ඇසත් රූපයත් නිසා ඇති වන්නකි. එය සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. දැකීම නමැති ක්‍රියා විශේෂයෙකි. තවත් ක්‍ර‍මයෙකින් කියත හොත් විඤ්ඤාණයෙකි. මම දකිමි ය, අනෙක දකීය ය යි කියනුයේ මම නො වූ අනිකකු නොවූ ධාතු මාත්‍ර‍යක් වූ චක්ඛුවිඤ්ඤාණය මම ය කියා ද, අනිකාය කියා ද වරදවා තේරුම් ගැනීමෙනි.

වේදනාව ද චක්ඛුවිඤ්ඤාණය වැනි වූ අරූප ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සේ ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගයෙන් හට ගන්නා ධර්මයෙකි. චක්ඛුවිඤ්ඤාණය සත්ත්වයා පුද්ගලයා නො වන්නාක් මෙන් ම වේදනාව ද සත්ත්වයෙක් පුද්ගලයෙක් නො වේ. පුද්ගලයකුට චක්ඛුවිඤ්ඤාණය ඉපදවිය නො හැකි වන්නාක් මෙන් ම වේදනාව ද පුද්ගලයකු විසින් නො ඉපද විය හැකි ය. ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුව හොත් චක්ඛුවිඤ්ඤාණයේ ඉපදීම පුද්ගලයාට නො වැළැක්විය හැකිවාක් මෙන් ම ප්‍ර‍ත්‍යයන්ගේ සංයෝගය ඇති වුවහොත් වේදනාව ඉපදීම ද පුද්ගලයාට නො වැළැක්විය හැකිය. කියන ලද කරුණු නැවත නැවත නුවණින් සලකා බලා වේදනාවේ සැටි හොඳින් තේරුම් ගත යුතු ය. හොඳින් තේරුම් ගෙන තමා ගේ සන්තානයේ ඇති වන්නා වූ ද අනුන්ගේ සන්තානවල ඇති වන්නා වූ ද, සුඛාදි වේදනාවන් ගැන අවකාශ ඇති පරිදි භාවනා කළ යුතු ය. තමා ගේසන්තානයෙහි උපදනා සුඛාදි වේදනාවන් ගැන භාවනා කළ යුත්තේ මෙනෙහි කළ යුත්තේ මෙසේ ය.

භාවනා වාක්‍යය

මේ සුඛ වේදනාව මා විසින් උපදවන ලද්දක් නො වේ. අනිකකු විසින් උපදවන ලද්දක් ද නොවේ. මේ සුඛ වේදනාව මම ද නො වේ. මාගේ ද නොවේ. අනිකෙක් ද නොවේ. අනිකකුගේ ද නොවේ. එය ආරම්මණාදි ප්‍ර‍ත්‍යයන් නිසා ඇතිවන්නා වූ එක්තරා අරූප ධර්‍මයෙකි. සිත කය දෙක නිසා ඇති වන්නා වූ අරූප ධර්‍මයෙකි. එය ප්‍ර‍ත්‍යයන් නිසා ඉපද බිඳී යන බැවින් ද පරම්පරාව සිඳී යන බැවින් ද අනිත්‍ය ධර්‍මයෙකි. අනිත්‍ය නිසා ම දුඃඛ ධර්‍මයෙකි. දුක නිසා ද හරයක් නැති නිසා ද අනාත්ම ධර්‍මයෙකි.

ඉතිරි වේදනා දෙක ගැන ද කියන ලද්දට අනුව වාක්‍ය යොදා ගෙන භාවනා කරනු. දුඃඛ වේදනාව පිළිබඳ භාවනාවේ දී අනිත්‍ය නිසා දුඃඛ ධර්මයකැයි නො කියා ඉවසීමට දුෂ්කර නිසා නො මනා නිසා දුඃඛ ධර්මයෙකැයි වාක්‍යය යොදා ගත යුතු ය. උපේක්ෂා වේදනාව පිළිබඳ භාවනාවේ වෙනසක් කරන්නට දෙයක් නැත. සුඛ වේදනාව දුක වන්නේ බිදෙන නිසා ය. සුඛය නැති වී යාම දුකෙකි. දුඃඛ වේදනාවේ බිඳීම අභාවප්‍රාප්තිය සැපයෙකි. පැවැත්ම එහි දුක ය. කලින් කල මෙසේ වේදනාව පිළිබඳව භාවනා කරන යෝගාවචරයා හට වේදනාව නිසා ඇති වන තෘෂ්ණා මාන දෘෂ්ට්‍යාදීන් ගේ ඇති වීම මඳ වන්නේ ය. වේදනාව නිසා සිදු වන පව් සිදු නො වන්නේ ය. මූල කර්මස්ථානය වඩා ඔහුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම පහසු වන්නේ ය. වේදනානු පස්සනාව දියුණු කොට චතුස්සත්‍යයට නඟා භාවනා කිරීමෙන් අර්හත්වයට ද පැමිණිය හැකි ය. එහෙත් එය පහසු නො වන බැවින් වේදනානුපස්සනාවෙන් මඟ පල ලබන්නට බලාපොරොත්තු නොවිය යුතු ය.