පඤ්ඤින්ද්‍රිය

සිතට සැම දෙය ම දැනෙන්නේ ය. එහෙත් එයට එක් දෙයකුදු පිරිසිදු ලෙස හොඳින් නො දැනෙන්නේ ය. සිතෙහි දැනීම ඇස් දුබල කෙනකුගේ පෙනීම වැනි ය. ඇස් දුබල තැනැත්තාට බොහෝ දේ පෙනෙතත් පෙනෙන එක් දෙයකුදු ඇස් හොඳ කෙනකුට පෙනෙන්නාක් මෙන් නිවැරදි ලෙස හොඳින් නො පෙනේ. එ මෙන් සිතට ඒ ඒ දෙය දැනෙන නුමුත් පිරිසිදු ලෙස නිවැරදි ලෙස නො දැනේ. සිත හා එක් වී පිරිසිදු ලෙසත් නිවැරදි ලෙසත් අරමුණු දැන ගන්නා ධර්මයක් ඇත්තේ ය. ප්‍ර‍ඥාවය යි කියනුයේ ඒ ධර්මයට ය. එය දුබල ඇසට උපකාර වන කණ්ණාඩියක් වැනි ය. ආලෝකයක් වැනි ය. ඒ ප්‍ර‍ඥාව අරමුණ නො වරදවා ඇති සැටියට ම ගැනීමෙහි සම්ප්‍ර‍යුක්ත ධර්මයන් යෙදවීම් වශයෙන් ඒවා ආණ්ඩු කරන බැවින් පඤ්ඤින්ද්‍රිය නම් වේ.

ඒ ප්‍ර‍ඥාව සාමාන්‍ය ජනයා ගේ සන්තානවල ද විටින් විට ඇති වන්නකි. සාමාන්‍ය ජනයා කෙරෙහි ඇති වන්නා වූ ඒ ප්‍ර‍ඥාවෙහි ප්‍ර‍බල දර්ශන ශක්තියක් නැත. ධ්‍යානමාර්ගාදිය පිණිස යෝග කරන්නා වූ සත්පුරුෂයන් හට ඔවුන්ගේ යෝග කර්ම සිද්ධියට ඒ දුර්වල ප්‍රඥෙන්ද්‍රිය ය ප්‍ර‍මාණ නො වේ. එයට ඉතා දියුණු නුවණක් තිබිය යුතු ය. ඇසින් දුටු දෙයක් නැවත ඇසට පෙනෙන්නාක් මෙන් යම් දෙයක් පෙනෙන සැටියට සිතීම පහසු කාර්යයක් නො වේ. ධ්‍යාන ලැබීමට ඉදිරියෙහි නැති කසිණාදි ආරම්මණයන් ඇසට පෙනෙන සේ ම සිතින් ගත හැකි විය යුතු ය. එසේ කළ හැකි වීමට දියුණු තියුණු කරන ලද ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. ලෝකෝත්තර මාර්ග සඳහා කරන විදර්ශනා භාවනාවට එයට ද වඩා දියුණු තියුණු ආලෝකවත් නුවණක් තිබිය යුතු ය. මේ බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ප්‍රඥෙන්ද්‍රියය යි කියනුයේ ශමථ විදර්ශනාවන්ට යෝග්‍ය වන පරිදි දියුණු කර ගන්නා ලද ප්‍රඥෙන්ද්‍රිය ය.

ශමථ භාවනාවට භාවනාවෙන් ම දියුණු කළ ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. විදර්ශනාවට උගෙනීමය භාවනා කිරීමය යන දෙකින් ම දියුණු කළ ප්‍ර‍ඥාවක් තිබිය යුතු ය. ශමථ භාවනා ක්‍ර‍මයෙන් කරන ප්‍ර‍ඥා වර්ධනයේ අවසානය, ඉද්ධිවිධ දිබ්බ සෝත දිබ්බචක්ඛු පරචිත්ත විජානන පුබ්බේනිවාසානුස්සති යථාකම්මූපග යන අභිඥා ඇති වීම ය. විදර්ශනා ක්‍ර‍මයෙන් කරන ප්‍ර‍ඥා වර්ධනයේ අවසානය ලෝකෝත්තර මාර්ග ඵල ප්‍ර‍ඥාවන් පහළ වීම ය. ශමථ විදර්ශනා ක්‍ර‍ම දෙකින් ම ප්‍ර‍ඥාව දියුණු කළ යුතු ය. “කත්ථ පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං? චතුසු අරියසච්චේසු ඵත්ථ පඤ්ඤින්ද්‍රියං දට්ඨබ්බං” යනුවෙන් දැක්වෙන පරිදි ප්‍රඥෙන්ද්‍රියයා ගේ දියුණුව චතුරාර්‍ය්‍ය සත්‍යයන් ගේ වශයෙන් දත යුතු ය. චතුරාර්‍ය්‍යසත්‍යය ගැන සිතන කල්හි එය යම් යම් පමණට වැටහේ නම් ඒ ඒ පමණට ප්‍රඥෙන්ද්‍රිය දියුණු වී ඇති බව තේරුම් ගත යුතු ය. ඉන්ද්‍රියත්වයෙහි හෙවත් අධිපති බැව්හි කෘත්‍යය දෙකක් ඇත්තේ ය. එන් එකක් අන්‍යයන් තමාට අනුකූල කරවීම ය. අනෙක ප්‍ර‍තිපාක්ෂිකයන් (විරුද්ධ කාරයන්) මැඩ පැවැත්වීම ය. මෙහි ඉහත ඉන්ද්‍රියත්වය විස්තර කර ඇත්තේ අනුකූල කරවීම වූ ඉන්ද්‍රිය කෘත්‍යයා ගේ වශයෙනි. ප්‍ර‍තිපාක්ෂිකයන් මැඩීම වූ කෘත්‍යයාගේ වශයෙන් ද ඉන්ද්‍රිය විස්තර කළ යුතු ය. ඒ මෙසේ ය. විචිකිත්සා දෘෂ්ටි මෝහාදීහු ශ්‍රද්ධාවට විරුඬ ධර්මයෝ ය. ඒවායේ බලය සිත්හි පවත්වන්නට නො දී ඒවා මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම ශ්‍ර‍ද්ධාවෙහි ඉන්ද්‍රිය කෘත්‍යය ය. ස්ථ්‍යානමිද්ධ්‍යාදීහු වීර්‍ය්‍යයට ප්‍ර‍තිපක්ෂ ධර්මයෝ ය. ඒවා මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම වීර්‍ය්‍යයා ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය. ඉෂ්ටරූපාරම්මණාදියෙහි සිත ගෙන යන කාමච්ඡන්දාදීහු ස්මෘතිය ගේ හා සමාධිය ගේ ප්‍ර‍තිපක්ෂ ධර්මයෝ ය. එවා මැඩ පැවැත්වීම හා සිතින් බැහැර කිරීම ස්මෘති සමාධීන් ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය. මෝහය ප්‍ර‍ඥාවට ප්‍ර‍තිපක්ෂ ධර්මය ය. එය මැඩ පැවැත්වීම සිතින් බැහැර කිරීම ප්‍ර‍ඥාව ගේ ඉන්ද්‍රිය කෘත්‍යය ය.