බෝධි පූජාව

නමත්ථු බුද්ධානං

නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං

නමෝ විමුත්තියා

බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය, සර්‍වඥතාඥානය, මහබෝසතුන්ට ලොවුතුරු බුදුබව ලැබීමට උපකාර වන ගස යන මේවා කියැ වේ.

බෝධි යන වචනයේ නියම තේරුම නම් නිවැරදි වූ ද පැහැදිලි වූ ද සම්පූර්ණ වූ ද දැනීම ය. අවබෝධය ය. දැකීම ය.

“ඇසින් දැකීම ය, නුවණින් දැකීම ය” යි දැකීම් දෙකකි. ඇසින් දැකීම් අතර වැරදි දැකීම් ද ඇත. අපැහැදිලි දැකීම් ද ඇත. පැහැදිලි වුව ද අසම්පූර්ණ දැකීම් ද ඇත. පැහැදිලි වූ සම්පූර්ණ දැකීම් ද ඇත. කුඩා ගිනි පුපුරු සේ අහසේ පෙනෙන තරු කුඩා ගිනි පුපුරු නොව විශාල වස්තූහු ය. ඒවායින් සමහරක් අප වාසය කරන පොළොවට ද වඩා විශාල වස්තූහු ය. ඒ විශාල වස්තූන් ගිනි පුපුරු සේ දැකීම වැරදි දැකීමෙකි. දුර සිටින මිනිසකු මිනිසකු සේ පෙනේ. එහෙත් හැඳින ගත නො හැකි ය. ඒ අපැහැදිලි දැකීම ය. ආලෝකය ඇති තැන්වල සමීපයේ සිටින මිනිසාට සමීපයේ ඇති වස්තුව හැඳින ගත හැකි සේ පෙනේ. ඒ පැහැදිලි දැකීම ය. සමීපයේ සිටින මිනිසාගේ ශරීරයෙන් ඇසට පෙනෙන්නේ ඇස පැත්තට හැරී තුබූ කොටස පමණකි. පිටිපස නොපෙනේ. මිනිස් සිරුරේ පිට පැත්ත මිස ඇතුළු පැත්ත ද නො පෙනේ. එය පැහැදිලි වූ අසම්පූර්‍ණ දැකීම ය. ආලෝකය ඇති තැනෙක ඇති වතුර පිටවූ සුදු බෝතල දෙස බලන කල්හි එහි සෑම පැත්ත ම පෙනේ. ඇතුළේ ඇති වතුර ද පෙනේ. වතුරෙහි යමක් ඇති නම් ඒවා ද පෙනේ. ඒ පිරිසිදු වූ ද සම්පූර්ණ වූ ද දැකීම ය.

ඇසට යම් යම් දේ පෙනෙන්නාක් මෙන් නුවණට සියල්ල ම පෙනේ. ඒ බැවින් නුවණට ඥානදර්ශනය යි ද නුවණැස ය යි ද කියනු ලැබේ. ඇසට පෙනීමේ වෙනස්කම් ඇති වාක් මෙන් නුවණට පෙනීමේ ද වෙනස්කම් ඇත්තේ ය. ඒ වෙනස්කම් ඇති ව්නනේ නුවණේ තත්ත්වය අනුව ය. නුවණ අතර දුබල ඒවා ද ඇත. බලවත් ඒවා ද ඇත. තියුණු ඒවා ද ඇත. නො තියුණු ඒවා ද ඇත. දුබල වූ ද නො තියුණු වූ ද නුවණට පෙනෙන දෙය පැහැදිලි ලෙස ප්‍ර‍කට ලෙස නො පෙනේ. පැහැදිලි ලෙස ප්‍ර‍කට ලෙස කාරණය පෙනෙන්නේ බලවත් වූ තියුණු වූ නුවණට ය. බෝධි යන වචනයෙන් අදහස් කරන්නේ දක්නා දෙය හරියට ම පෙනෙන, පැහැදිලි ලෙස ප්‍ර‍කෘතිය සම්පූර්ණයෙන් පෙනෙන, බලවත් වූ තියුණු වූ නුවණ ය. එනම් ලෝකෝත්තර මාර්ගඥානය හා සර්වඥතාඥානය ය. මාර්ගඥානයට පෙනෙන්නේ නිවන පමණෙකි. සර්වඥතාඥානයට අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල ම පෙනෙන්නේ ය.

ලෝකෝත්තර මාර්ගය යනු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යන ධර්ම අට ය. සංස්කාර ධර්මයන් අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කර ගෙන යන්නා වූ යෝගාවචරයන්ට විදර්ශනාඥානය දියුණු වීමෙන් මේ මාර්ගාංග ධර්ම අට ලෝකෝත්තර භාවයෙන් එක්වර එකට බැඳී පහළවන අවස්ථාවක් ඇතිවේ. ඒ අවස්ථාවේ දී ඇති වන මාර්ගාංග අටට ලෝකෝත්තර මාර්ගය යි කියනු ලැබේ. එහි සම්මා දිට්ඨි යන වචනයෙන් කියැවෙන්නේ නිර්වාණය ප්‍ර‍ත්‍යක්ෂ වශයෙන් දක්නා වූ ඉතා බලවත් වූ ඉතා තියුණු වූ ඥානය ය. ලෝකෝත්තර මාර්ගඥානය යි කියනුයේ ඒ සම්මා දිට්ඨියට ය. එහි බලයෙන් සන්තානයෙහි පවත්නා ක්ලේශයෝ ද එහි ශක්ති ප්‍ර‍මාණය අනුව දුරු වෙති. ප්‍ර‍හීණ වෙති. ලෝකෝත්තර මාර්ගඥානය එක් පුද්ගලයකුට සතර වරක දී ඇති වේ. පළමුවර ඇති වන ඒ ලෝකෝත්තර ඥානය සෝතාපත්ති මග්ගඤාණය නම් වේ. දෙවන වර ඇති වන ඥානය සකදාගාමි මග්ගඤාණ නම් වේ. තුන්වන වර ඇති වන ඥානය අනාගාමි මග්ගඤාණ නම් වේ. සිවුවන වාරයෙහි ඇති වන ඥානය අරහත්ත මග්ගඤාණ නම් වේ. ඒ ඥාන එකින් එකට වඩ වඩා බලවත් ය. බෝධි නම් වූ අරහත්ත මග්ග ඤාණය සියල්ලට ම වඩා බලවත් බැවින් යට මග්ගඤාණවලට ප්‍ර‍හාණය නො කළ හැකි ව ඉතිරි වී තුබූ සකල ක්ලේශයෝ ඒ ඥානයෙන් ප්‍ර‍හාණය වෙති. එයින් එය ලත් පුද්ගලයා පරම විශුද්ධියට පැමිණේ. ඒ උත්තම පුද්ගලයාට කරන ඉතා සුළු වූ ද පූජාව, සත්කාරය ඉතා මහත්ඵල වන්නේ ය. එබැවින් ඒ පුද්ගලයා අරහත් නම් වේ. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වේ. ඒ බෝධියේ අනුහස ය.

අර්හන් මාර්ගඥාන සඞ්ඛ්‍යාත බෝධිය ද ශ්‍රාවක බෝධිය ප්‍රත්‍යේක සම්බෝධිය මහාබෝධිය යි තුන් ආකාර වේ. ඒ තුන් බෝධිවලට තුන්තරා බෝධි ය යි ද කියනු ලැබේ. ශාරිපුත්‍ර‍ මෞද්ගල්‍යාන ආනන්ද මහා කාශ්‍යපාදි බුද්ධ ශ්‍රාවකයන්ගේ අර්හන් මාර්ගඥානය ශ්‍රාවක බෝධි නම් වේ. පසේ බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ප්‍රත්‍යේක සම්බෝධි නම් වේ. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය මහා බෝධි නම් වේ. සම්‍යක් සම්බෝධි නම් ද වේ. මේ ඥානයන් ද එකිනෙකට වඩ වඩා බලවත් ය. ලොවුතුරා බුදුවරුන්ගේ අර්හන් මාර්ගඥානය ඉතා බලවත් ය. එබැවින් ඒ සන්තානයෙහි තුබූ බවට ලකුණකුදු ඉතිරි නොවන පරිදි ක්ලේශයෝ ප්‍ර‍හීණ වෙති. එයට සවාසනා ක්ලේශ ප්‍ර‍හාණය යි කියනු ලැබේ. ඒ අර්හන් මාර්ගය ලැබෙනු සමග ම එහි අනුහසින් ලොවුතුරා බුදුවරුන්ට සියල්ල දැකීමට සමර්ථ සර්වඥතා ඥානය පහළ වේ. ඒ ඥානයට කොතරම් සියුම් දෙයක් වුව ද ඉතා පැහැදිලි ලෙස පෙනේ. කොතරම් දුර පිහිටි දෙයක් වුව ද අත පිට ඇති දෙයක් සේ පෙනේ. ඒ උසස් ඥානයට ද බෝධිය යි කියනු ලැබේ. අර්හන් මාර්ග ඥානය සමග ම ලොවුතුරා බුදුවරුන්ට දශබලඥාන චතුර්වෛශාරද්‍යඥානාදි[1] සෙසු බුද්ධ ගුණයෝ ද පහළ වෙති.

  1. . විස්තර සඳහා “සූවිසි මහා ගුණය” බලන්න.