බෝධි ඇමදීමේ අනුසස් විස්සක් දැක්වෙන බෝධි සම්මජ්ජක රහතන් වහන්සේගේ අපදානය

1. අහං පුරේ බෝධි පත්තං උජ්ඣිතං චේතියඞ්ගණේ,

තං ගහෙත්වාන ඡඩ්ඪෙසිං අලභිං වීසති ගුණේ.

.

2. තස්ස කම්මස්ස තේජේන සංසරන්තෝ භවා භවේ,

දුවේ භවේ සංසරාමී දේවත්තේ චාපි මානුසේ.

.

3. දේවලෝකා චවිත්වාන ආගන්ත්වා මානුසං භවං,

දුවේ කුලේ පජායාමි ඛත්තියෙ චාපි බ්‍රාහ්මණෙ.

.

4. අංග පච්චංග සම්පන්නෝ ආරෝහ පරිණාහවා,

අභිරූපෝ සුචී හෝමි සම්පුණ්ණ ඔඝෝ අනූනකෝ.

.

5. දේවලෝකේ මනුස්සේ වා ජාතෝ වා යත්ථ කත්ථචි,

භවේ සුවණ්ණ වණ්ණෝ ච උත්තත්ත කනකූපමෝ.

.

6. මුදුකා මද්දවා සිනිද්ධා සුඛුමා සුකුමාරිකා,

ඡවි මේ සබ්බදා හෝති බෝධිපත්තේ සුඡඩ්ඪිතේ.

.

7. යතෝ කුතෝචි ගතීසු සරීරේ සමුදාගතේ,

න ලිම්පති රජෝ ජල්ලං විපාකෝ පත්තඡඩ්ඪිතෙ.

.

8. උණ්හේ වාතාතපේ තස්ස අග්ගි තාපේන වා පන,

ගත්තේ සේදා න මුච්චන්ති විපාකෝ පත්තඡඩ්ඪිතෙ.

.

9. කුට්ඨං ගණ්ඩෝ කිලාසෝ ච තිලකා පිළකා තථා,

න හොන්ති කායේ ලද්දූච විපාකෝ පත්තඡඩ්ඪිතෙ.

.

10. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවේ,

රෝගා න හොන්ති කායස්මිං විපාකො පත්ත ඡඩ්ඪිතෙ.

.

11. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,

න හොන්ති චිත්තජා පීළා විපාකෝ පත්ත ඡඩ්ඪිතෙ.

.

12. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,

අමිත්තා න භවන්තස්ස විපාකෝ පත්තඡඩ්ඪිතෙ.

.

13. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,

අනූන භෝගෝ භවති විපාකෝ පත්ත ඡඩ්ඪිතෙ.

.

14. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,

අග්ගි රාජූහි චෝරේහි න හෝති උදකේ භයං.

.

15. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවා භවේ,

දාසිදාසා අනුචරා හොන්ති චිත්තානුවත්තකා.

.

16. යම්හි ආයුප්පමාණම්හි ජායතේ මානුසේ භවේ,

තතෝ න හායතේ ආයු තිට්ඨතේ යාවතායුකං.

.

17. අබ්භන්තරා ච බාහිරා නේගමා ච සරට්ඨකා,

අනුයුත්තා හොන්ති සබ්බේපි වුද්ධිකාමා සුඛිච්ඡකා.

.

18. භෝගවා යසවා හෝමි සිරිමා ඤාති පක්ඛවා,

අපේත භය සන්තාසෝ භවේහං සබ්බතෝ භවේ.

.

19. දේවා මනුස්සා අසුරා ගන්ධබ්බා යක්ඛ රක්ඛසා,

සබ්බේ තේ පරිරක්ඛන්ති භවේ සංසරතෝ සදා.

.

20. දේව ලෝකේ මනුස්සේ ච අනුභොත්වා උභෝ යසේ,

අවසානේ ච නිබ්බානං සිවං පත්තෝ අනුත්තරං.

.

21. සම්බුද්ධ මුද්දිසිත්වාන බෝධිං වා තස්ස සත්ථුනෝ,

යෝ පුඤ්ඤං පසවේ පෝසෝ තස්ස කිං නාම දුල්ලභං.

.

22. මග්ගේ ඵලේ ආගමේ ච ඣානාභිඤ්ඤාගුණේසු ච,

අඤ්ඤෙසං අධිකෝ හුත්වා නිබ්බායාමි අනාසවෝ.

.

23. පුරේහං බෝධියා පත්තං ඡඩ්ඪෙත්වා හට්ඨ මානසෝ,

ඉමේහි වීසතඞ්ගේහි සමඞ් ගී හෝමි සබ්බදා.

.

24. කිලේසා ඣාපිතා මය්හං භවා සබ්බේ සමූහතා,

නාගෝව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවෝ.

.

25. ස්වාගතං වත මේ ආසි බුද්ධ සෙට්ඨස්ස සන්තිකේ,

තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.

.

26. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛා චාපි අට්ඨිමා,

ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

ඉත්ථං සුදං ආයස්මා බෝධි සම්මජ්ජකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.

තේරුම :-

  1. මම පෙර සෑ මලුවෙහි වැටී තුබුණා වූ බෝ පත් ගෙන ඉවත ලීමි. එයින් මම අනුසස් විස්සක් ලැබීමි.
  2. සසර කුඩා මහත් භවයන්හි හැසිරෙන්නා වූ මම ඒ කර්මයේ බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි ම හැසුරුණෙමි.
  3. දෙව් ලොවින් චුත ව මේ මිනිස් ලොවට එන විට ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණ යන දෙකුලයෙහි ම උපනිමි.
  4. අඞ්ග ප්‍ර‍ත්‍යඞ්ග සම්පූර්ණ වූ උස මහතින් සම්පූර්ණ වූ ශෝභන වූ පිරිසිදු වූ අඞ්ග සම්පූර්ණ වූ අඩුවක් නැත්තා වූ කෙනෙක් වෙමි.
  5. දෙව් ලොව මිනිස් ලොව කොතැනක උපනත් හුණු කළ රත්රන් සේ රන් ව්න පැහැ ඇත්තේ වෙමි.
  6. බෝපත් ඉවත් කිරීමේ පිනෙන් මා හට සැම කල්හි මෘදු වූ සිනිඳු වූ මොළොක් වූ සම ඇති වේ.
  7. බෝපත් ඉවත් කිරීමේ විපාක වශයෙන් කිනම් ගතියක වුව ද උපන් කල්හි ශරීරයේ ධූලි හා කුණු නො තැවරේ.
  8. පත් ඉවත් කිරීමේ විපාක වශයෙන් උෂ්ණ වාතයෙන් හෝ අව්වෙන් හෝ ගින්නෙන් හෝ ශරීරයෙන් ඩහදිය නො ගලයි.
  9. පත් ඉවත් කිරීමේ විපාක වශයෙන් ශරීරයෙහි කුෂ්ඨ, ගඩු, කබර, තලකැලැල්, පිළිකා නො හටගනී. කයෙහි දද ද ඇති නොවේ.
  10. පත් ඉවත් කිරීමේ කුශලයෙන් ඔහුට කුඩා මහත් භවවලදී තවත් අනුසසක් ලැබේ. ඔහුගේ ශරීරයෙහි රෝග නො හට ගනී.
  11. පත් ඉවත් කිරීමේ විපාක වශයෙන් ඔහුට තවත් අනුසසක් ලැබේ. ඔහුට චිත්ත පීඩා ඇති නොවේ.
  12. පත් ඉවත් කිරීමේ පිනෙන් ඔහුට තවත් අනුසසක් ලැබේ. ඔහුට සතුරෝ ඇති නො වෙති.
  13. පත් ඉවත් කිරීමේ විපාක වශයෙන් තවත් අනුසසක් ලැබේ. ඔහුට වස්තුවෙන් අඩුවක් නොවේ.
  14. ඔහුට පත් ඉවත් කිරීමේ පිනෙන් කුඩා මහත් භවයන්හි තවත් විපාකයක් වේ. ගින්නෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් විපත් නොවේ. ජල භය ද නොවේ.
  15. ඔහුට භවාභවයෙහි තවත් අනුසසක් ලැබේ. දාසිදාසියෝ ද අනුචරයෝ ද ඔහුට අනුකූල වෙති.
  16. යම් ආයු ප්‍ර‍මාණයකදී මිනිස් ලොව උපත ලැබූයේ නම් ආයුෂ අඩු නොවේ. ආයු නියමය ඇති තාක් ජීවත් වන්නට ලැබේ.
  17. අභ්‍යන්තරයෙහි වූ ද පිටත වූ ද ගම් වැසි වූ ද රට වැසි වූ ද සැම දෙන ඔහුට අනුකූල වෙති. ඔහුගේ දියුණුවට සුවයට කැමති වෙති.
  18. භෝග ඇතියෙක් වෙමි. යශස් ඇත්තේ වෙමි. ශ්‍රියා ඇතියෙක් වෙමි. නෑයන් පක්‍ෂ කෙනෙක් වෙමි. බිය නැතියෙක් වෙමි.
  19. දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද ගන්ධර්වයෝ ද යක්‍ෂ රාක්‍ෂසයෝ ද යන සැම දෙන ම භවයෙහි හැසිරෙන්නා වූ මා ආරක්ෂා කරති.
  20. දෙව් ලොව ද මිනිස් ලොව ද යන දෙක්හි ම සම්පත් විඳ අවසානයේ අනුත්තර වූ නිවනට පැමිණියෙමි.
  21. සම්බුද්ධයන් වහන්සේ උදෙසා හෝ උන් වහන්සේ බෝධිය උදෙසා හෝ යම් පුරුෂයෙක් පින් රැස් කෙරේ නම් ඔහුට කිනම් දෙයක් දුර්ලභ වේ ද? (කිසිවක් දුර්ලභ නොවේ. එයින් ඔහුට සියලු සම්පත් ලැබේ.)
  22. මාර්යෙහි ද, ඵලයෙහි ද, ආගමයෙහි ද, ධ්‍යානාභිඥා ගුණයන්හි ද අන්‍යයන්ට අධික වී ආශ්‍ර‍ව රහිත වී පිරිනිවෙන්නෙමි.
  23. පෙර මම සතුටු සිතින් බෝධියේ පත් ඉවත් කොට සෑම කල්හි මේ අඞ්ග විස්සෙන් යුක්ත වෙමි.
  24. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම සිඳ වෙසෙන ඇතකු මෙනි.
  25. බුදුන් වහන්සේ වෙතට මාගේ යෑම යහපත් ගමනක් විය. මම ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය සම්පූර්ණ කරන ලදි.
  26. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද ලබන ලදහ. බුදුන් වහන්සේගේ අනුශාසනය සම්පූර්ණ කරන ලද්දේ ය.

ආයුෂ්මත් බෝධි සම්මජ්ජක රහතන් වහන්සේ විසින් මේ ගාථා මෙසේ ප්‍ර‍කාශ කරන ලදි.

මේ ගාථාවලින් දැක්වෙන ඇමදීමේ අනුසස් විස්ස මෙසේ ය.

  1. දුර්ගතියට යන්නට සිදු නොවී නිව්න දක්නා තෙක් දෙමිමිනිස් දෙගතියේ ම ඉපදීම.
  2. මිනිස් ලොව උපදනා කල්හි දුකසේ ජීවත් වන ගුණ ධර්ම නැති අවාසනාවත් පවුල්වල නූපදී සම්පත් ඇති යහපත් පවුල්වල පමණක් ඉපදීම.
  3. අවාසනාවත් පාට ඇති තේජසක් නැති උස මහතින් අඩු විරූපී පුද්ගලයකු නොවී ශෝභන ශරීරයක් ඇති උස මහතින් අඩුවක් නැති තේජාන්විත පුද්ගලයකු වීම.
  4. ශරීරය රන්වන් පැහැය ඇතියකු වීම.
  5. ඇතැමුන්ගේ ශරීර කබරගොයින්ගේ මෙන් රළු වී ඇත්තේ ය. ඇතැමුන්ගේ ශරීර මීහරකුන්ගේ මෙන් රෞද්‍ර‍ රෝමයන්ගෙන් ගැවසී කර්කශ ව ඇත්තේ ය. එසේ නොවී බාල දරුවකු ගේ ශරීරයේ මෙන් සිනිඳු මෘදු සමින් යුක්ත වීම.
  6. ශරීරයේ දූලි හා කුණු නො තැවරීම.
  7. උෂ්ණ වාත අව්ව ගිනි රස්නය යනාදියෙන් ඩහදිය ගලා ශරීරය අපවිත්‍ර නො වීම.
  8. කුෂ්ඨ ගඩු කබර තලකැලැල් පිළිකා දද යන මේවා ශරීරයේ ඇති නො වීම.
  9. රෝග නො වැළඳීම.
  10. චිත්ත පීඩා ඇති නො වීම.
  11. සතුරන් ඇති නො වීම.
  12. භෝගයන්ගේ අඩුවක් නො වීම, ආහාර පාන වස්ත්‍රාදිය හිඟ නො වීම.
  13. ගින්නෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන්, දියෙන් විපත් නො වීම.
  14. දාස දාසියෝ ද, අනුචරයෝ ද හිතුවක්කාරයන් නොවී තමාගේ සිතට අනුකූල ව හැසිරීම.
  15. යම් ආයු ප්‍ර‍මාණයක් ඇති කලෙක මිනිස් ලොව උපන්නේ නම් ඒ නියම ආයුෂය සම්පූර්ණයෙන් වළඳන්නට ලැබීම. අඩු ආයුෂයෙන් නොමිය යෑම.
  16. තමාගේ ආභ්‍යන්තරිකයෝ ද පිට අය ද රට වැසියෝ ද යන සෑම දෙනා තමාට අනුකූල වීම, තමාගේ යහපත කැමති වීම.
  17. භෝග සම්පත් ඇතියකු වීම, යශස් ඇතියකු වීම, ශ්‍රියා ඇතියකු වීම, ඥාතීන් තමාට පක්‍ෂ වීම, කිසි බියක් සැකයක් නැති ව විසිය හැකි වීම.
  18. දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද ගන්ධර්වයෝ ද, යක්‍ෂ රාක්‍ෂසයෝ ද යන සියල්ලන් විසින් ම ආරක්‍ෂා කරනු ලැබීම.
  19. දෙවි මිනිස් දෙගතියේ සැප විඳ අවසානයේ අනුත්තර නිර්වාණයට පැමිණීම.
  20. මාර්ග ඵල අධිගම ධ්‍යානාදි ගුණ අධික ව ලැබීම යන මේවා ය.