කටකන්දර වාසී ඵුස්සදේවතෙරුන් වහන්සේ

කටකන්දර වාසී ඵුස්සදේව තෙරුන් වහන්සේ එක් දවසක් චෛත්‍ය මලුව ඇමද නික මල් අතුළාක් මෙන් සමතලා වූ වැලි ඇති සෑ මලුව දෙස බලමින් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගෙන සිටියහ. එකෙණෙහි මාරයා පර්වත පාදයේ උපන් කළු වඳුරකු මෙන් වී සෑ මළුවෙහි ගොම විසුරුවමින් ගියේ ය. ඒ කරදරය නිසා තෙරුන් වහන්සේට එදින රහත් නොවිය හැකි විය. උන් වහන්සේ නැවත සෑමලුව ඇමද පිරිසිදු කොට වැඩම කළහ. පසු දින තෙරුන් වහන්සේ සෑ මලුව ඇමද බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා බලා සිටින කල්හි මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් පෙර සේ ම විකාර කොට ගියේය. තෙරුන් වහන්සේට රහත් නොවිය හැකි විය. තුන් වන දිනයේ තෙරුන් වහන්සේ මලුව ඇමද බලා සිටි කල්හි මාරයා කොරකුගේ වේශයෙන් අවුත් බිම පා ඇද ඇවිද තෙරුන් වහන්සේගේ සිත අවුල් කෙළේ ය. තෙරුන් වහන්සේ ඔහු දෙස බලා මෙවැනි භයානක පුද්ගලයෙක් මේ අවට යොදුනක් පමණ පෙදෙසේ නම් නැත. මොහු මාරයා වත්දෝයි සිතා “නුඹ මරයා දැ” යි ඇසූහ. “එසේය, අද ඔබ රවටන්නට නුපුළුවන් වීය” යි කීය. තෙරුන් වහන්සේ “නුඹ බුදුරජාණන් වහන්සේ දැක ඇත්තේ දැ”යි විචාළහ. “එසේය”යි මාරයා පිළිතුර දින. “මාරයා නම් මහානුභාව සම්පන්න පුද්ගලයෙකි. ඔබට හැකි නම් භාග්‍යවතුන් වහන්සේගේ රූපය වැනි රූපයක් මවා පෙන්වන්න” ය යි තෙරණුවෝ කීහ. මාර තෙමේ “හිමියනි, සර්වාකාරයෙන් බුදුන් වහන්සේට සමාන රුවක් අපට මැවිය නො හැකි ය. එහෙත් තරමකට සමාන රුවක් මවා පෙන්වමි” යි තථාගත වේශයෙන් ඔහු පෙනී සිටියේ ය. තෙරුන් වහන්සේ ඒ බුදුරුව බලා කෙලෙස් සහිත වූ මේ මාරයා මෙපමණ හොබනේ නම් නික්ලේශී වූ තථාගතයන් වහන්සේ කෙසේ වන්නට ඇති දැ යි බුද්ධාලම්භන ප්‍රීතිය ලබා විදසුන් වඩා එතැන දී ම අර්හත්වයට පැමිණි සේක. මාර තෙමේ “ඔබ මා රැවටුවෙහි” ය යි කීය. “මාරය, කුමට නුඹ රවටන්නෙම්දැ” යි තෙරුන් වහන්සේ කීහ.

ලෝකන්තර විහාරවාසී දත්ත නම් භික්‍ෂුවක් ද සෑමළුව ඇමද එය බලමින් ඕදාත කසිණය වඩා අෂ්ට සමාපත්ති උපදවා විදසුන් වඩා අර්හත්වයට පැමිණියේ ය.