මහා බෝධි සත්ත්වයන් වහන්සේ එදා ඒ වෙසක් මස පුණු පොහෝ දිනයේ පස් මරුන් පරයා සව් කෙලෙසුන් නසා ලොවුතුරා බුදු වී තමන් වහන්සේ වැඩහුන් බෝධි පර්‍ය්‍යඞ්කයෙහි අනේක සමවත්වලට සම වදිමින් සමවත් සුවයෙන් සතියක් ම විසූ සේක. සති අන්තයේ ඒ පලඟින් නැඟී සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මා විසින් සෙවූ ධර්මය මේ පර්යංකයෙහිදී අවබෝධ කර ගතිමි යි දෙවන සතියේ ඒ පර්ය්යඞ්කයටත් බෝධීන් වහන්සේටත් පූජාවක් වශයෙන් දෙවන සතිය මුළුල්ලෙහි පර්ය්යඞ්කය දෙස බලාගෙන නිශ්චල ව විසූ සේක. එසේ සිටින කල්හි මේ පර්ය්යඞ්කය අත් නොහැර තවමත් මෙතැන මුන් වහන්සේ සිටින්නේ බුදු වීම පිළිබඳ මුන් වහන්සේගේ කටයුතු තවමත් අවසන් වී නැත ය යන කල්පනාවක් දෙවියන්ට ඇති විය. භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අදහස් දැක ඔවුන්ගේ ඒ අදහස් දුරු කිරීම පිණිස අහසට පැන නැඟී යමක ප්‍රාතිහාර්‍ය්‍යය දැක් වූ සේක. ඉක්බිති උන් වහන්සේ ආකාශයෙන් බැස පර්ය්යඞ්කයටත් සිටි තැනටත් අතර සතියක් සක්මන් කළ සේක. ඒ එක්විසි දිනයේ ම තථාගත ශරීරයෙන් රැස් විහිදීමක් සිදු නොවී ය.
සතර වන සතියේ භාග්‍යවතුන් වහන්සේ බෝධීන් වහන්සේට වයඹ දිග එක් ස්ථානයක වැඩ හිඳ අභිධර්ම පිටකයේ සප්ත ප්‍රකරණය මෙනෙහි කිරීම ආරම්භ කළ හ. ඒ ප්රකරණයන්ගෙන් ධම්මසඞ්ගනී, විභඞ්ග, ධාතු කථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවතථු, යමක යන ප්රකරණ සයේ ධර්ම උන් වහන්සේගේ තියුණු නුවණට ලොකු දෙයක් සේ ගැඹුරු දෙයක් සේ සියුම් දෙයක් සේ නො දැනිණ. එබැවින් ඒ ප්රකරණ මෙනෙහි කිරීමෙන් උන් වහන්සේට එතරම් සතුටක් ඇති නොවී ය. අභිධර්ම පිටකයේ සත්වන ප්‍රකරණය වන මහා ප්‍රස්ථාන ප්‍රකරණයට බැස හේතුපච්චයෝ ආරම්මණ පච්චයෝ යනාදීන් ප්‍රත්‍යය ධර්ම මෙනෙහි කරන්නට වන් කල්හි උන් වහන්සේ ගේ අත්‍යන්ත නිර්මල අත්‍යන්ත තීක්ෂණ නුවණට රිසි සේ එහි හැසිරෙන්නට ලැබිණ. ඒ ප්‍රකරණය ම උන්වහන්සේගේ සර්වඥතාඥානයට හැසිරීමට ප්‍රමාණවත් විය. කූඩුවක සිර වී සිටි පක්ෂියකුට එළිමහනට පැමිණීමට ලද විට ඉමහත් ප්‍රීතියක් ඇති වන්නාක් මෙන් පට්ඨාන ප්‍රකරණයෙන් තථාගතයන් වහන්සේට ඉමහත් ප්‍රීතියක් ලැබිණ. එයින් උන් වහන්සේගේ ලේ ධාතුව පැහැදිණ. ඒ අනුව සකල ශරීරය ම පැහැදිණ. ගින්න පැහැදිලි දෙයක් වන නිසා එයින් පිටතට ආලෝකයක් නික්මෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ආලෝකය නික්මෙන්නට විය. බුදුරැස් ය කියනුයේ ඒ ආලෝකවලට ය. තථාගත ශරීරයේ කෙස් ලොම්වලින් හා නේත්රවල නිල් තැන්වලින් නීල රශ්මිය නික්මිණ. සමින් හා නේත්‍රයන්හි කහ පැහැය ඇති තැන්වලින් පීත රශ්මිය නික්මිණ. ලේ මස්වලින් හා නේත්‍රයන්හි රතු තැන්වලින් ලෝහිත රශ්මිය නික්මිණ. ඇටවලින් හා දත්වලින් ද නේත්‍රයන්හි සුදු තැන්වලින් ද ඕදාත රශ්මිය නික්මිණ. මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර රශ්මීහු ශරීරයේ ඒ ඒ තැන්වලින් නික්මුණා හ. ඒ රශ්මීහු ලොව පුරා අහසෙහි පැතිර ගියහ.
ප්‍රස්ථාන ප්‍රකරණය සම්මර්ශනයෙන් පසු තථාගත ශරීරයෙන් අසූ රියනක් තැන් පැතිර සිටින නිශ්චල රශ්මියක් ඇති විය. කේතුමාලා ය යි කියනුයේ අසූ රියනක් උසට තථාගත ශීර්ෂයෙන් විහිදී පවත්නා නීල රශ්මිය ය. ව්යාමප්රභාවය යි කියනුයේ තථාගත දේහය වටා බඹයක් තැන පැතිර නිශ්චල ව පවතින රශ්මිය ය.