ධර්මචක්‍ර සටහනක් පිළියෙළ කිරීමේ දී එය කැපෙන දෙයක් බව දැක්වීමට චක්‍ර පට්ටමේ දැති යෙදිය යුතු ය. ඒ චක්‍රය චතුස්සත්‍යය ප්‍රතිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය බව දැක්වීමට හා චතුස්සත්‍යය දේශනාව බව දැක්වීමටත් චතුස්සත්‍යයේ අංග සූවිස්ස දැක්විය යුතු. චක්‍රයට ගරාදි සූවිස්සක් යොදන්නේ සත්‍ය දේශනයේ එන සත්‍යාංගසූවිස්ස දැක්වීමට ය. සත්‍යාංග සූවිස්ස දක්වන ගරාදි සූවිස්සක් ඇති දැති සහිත චක්‍ර සටහන නියම ධර්මචක්‍ර සටහන බව කිය යුතු ය. චතුස්සත්‍ය දේශනයේ අංග සූවිස්ස විසුද්ධි මාර්ගයේ ආර්‍ය්‍ය සත්‍ය නිර්දේශයේ මෙසේ දැක්වේ.
“ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යංපිච්ඡං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛාති දුක්ඛ නිද්දේසේ ද්වාදස ධම්මා.”
යායං තණ්හා පොණෝභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං? කාමතණ්හා, භව තණ්හා, විභව තණ්හාති. සමුදය නිද්දේසේ තිවිධා තණ්හා.
යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝති, ඒවං නිරෝධ නිද්දේසේ අත්ථතෝ ඒකමේව නිබ්බානං.
කතමං දුක්ඛ නිරොධගාමිනි පටිපදා අරියසච්චං අයමෙව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං? සම්මාදිට්ඨි -පෙ- සම්මා සමාධීති. ඒවං මග්ග නිද්දේසේ අට්ඨධම්මා.”
මෙහි දැක්වෙන අංග සූවිස්ස මෙසේ ය.
- ජාති දුක්ඛය.
- ජරා දුක්ඛය.
- මරණ දුක්ඛය.
- ශෝකය.
- පරිදේවය
- දුක්ඛය.
- දෝමනස්සය.
- උපායාසය.
- අප්‍රිය සම්ප්‍රයෝගය.
- ප්‍රිය විප්‍රයෝගය.
- කැමති දෑ නො ලැබීම.
- උපාදානස්කන්ධ පස.
- කාම තණ්හාව.
- භව තණ්හාව.
- විභව තණ්හාව.
- නිර්වාණය.
- සම්මා දිට්ඨි
- සම්මා සංකප්ප.
- සම්මා වාචා.
- සම්මා කම්මන්ත.
- සම්මා ආජීව.
- සම්මා වායාම.
- සම්මා සති.
- සම්මා සමාධි.
මේ චතුස්සත්‍යයේ අංග සූවිස්සය.
විසුද්ධිමග්ගයේ මේ අංග සූවිස්ස දක්වා ඇත්තේ ධර්මචක්‍ර සූත්‍රය සච්චවිභඞ්ග සූත්‍රය යන දෙක්හි ම එන අංග ගැනීමෙනි. ධර්මචක්‍ර සූත්‍රයෙහි එන ව්‍යාධිපි දුක්ඛෝ යන අංගය මේ සූවිස්සට ඇතුලත් කොට නැත. එය ඇතුලත් කර නැත්තේ ව්‍යාධිය සකල සත්ත්වයන්ට ම සාධාරණාංගයක් නොවන නිසා ය යි විසුද්ධිමග්ග ටීකාවෙහි කියා ඇත්තේ ය.
අපගේ දහම් පොත් සියල්ලෙහි ම ලකුණක් වශයෙන් යොදා ඇති ධර්මචක්‍ර සටහන තේරුම් ගත හැකිවීම සඳහා මේ පොතට අතිරේකයක් වශයෙන් මේ ලිපිය යොදන ලදී.
රේරුකානේ චන්දවිමල මහා නායක ස්ථවිර.