මෙ සමයෙහි අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ කිඹුල්වත් ගොස් එහි දෝණවත්ථු ගමැ දී පැවිදි වීම සිය බෑනණු (මන්තානිපුත්ත) පුණ්ණයන් පැවිදි කළහ. පුණ්ණයෝ කොණ්ඩඤ්ඤ තෙරුන් හා එන්නාහු කිඹුල්වත රැඳී කමටහන් වඩා රහත් වූහ. ඔවුන් වෙත කිඹුල්වත් වැසි කුලපුත්තු පන්සියයක් පැවිදි වූහ. තෙරණුවෝ ඔවුනට දශ කථා වස්තුයෙන්146 ඔවා දුන්හ. ඒ අසා උහු හැම රහත් වූහු. ඉක්බිති තෙරුන් විසින් මෙහෙයවන ලදුවෝ ඔහු භාග්‍යවතුන් වහන්සේ දක්නට ගියෝ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් සුව දුක් විචාරා “කොහි සිට එවුදැ” යි ඇසූ සේක. “ජාත භූමියෙහි[1] සිට එම්හ” යි කීහ. “ජාත භූමියෙහි කවරෙක් නම් දශ කථා වස්තු ලාභී ද” එහි වැසි භික්ෂූන් විසින් සම්භාවිත දැ?” යි භාග්‍යවතුන් වහන්සේ විචාළ සේක. “මන්තානි පුත්ත පුණ්ණ තෙරණුවෝ යැ”යි ඔහු කීහ. මෙ කථාව අසා සිටි සැරියුත් තෙරණුවෝ පුණ්ණ තෙරුන් දක්නා කැමැති වූහ.
තෙවෙනි වසැ රජගහ නුවර වේළුවනයෙහි
භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වර්ෂර්තුවත් රජගහ නුවරැ වේළුවනයෙහි ම ගත කළ සේක. මෙ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රජගහට නො දුරෙහි වුසූ ජම්බුක නම් අසූචි කන නග්න ආජීවකයකු දමනය කොට සසුන්හි පැහැද වූ සේක. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම කථා ශ්‍රවණයෙන් රහත් වූයේ ඒහි භික්ෂුප්රව්රජ්යාවෙන් පැවිදි වී ය.
-
ජාතභූමිය නම් කිඹුල්වත් පෙදෙස යි. ↑