වස් වසා පවරා ඉක්බිති සැරි සරා වඩනා සාමි දරුවන් වහන්සේ දෙවැනි වරෙකත් කපිලවාස්තු පුරයට පැමිණි සේක්, න්‍යග්‍රෝධාරාමයෙහි වුසූ සේක. එසමයෙහි ශාක්‍ය කෝලිය දෙ රට රජුන් ගේ සංග්‍රාමයෙක් වීය. එය දත් භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ යුද්‍ධ පිණිස රෝහිණී නදිය දෙ තෙර රැස් වූ ඒ නෑ රජුන් මැද අහස්හි හිඳ ඔවුනට අත්තදණ්ඩ සුත්තය දෙසූ සේක. ඒ ඇසූ ඔවුන් ගේ ක්‍රෝධය සංහිඳිණ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට ඵන්දන ජාතක, දද්දහ ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් දම්දෙසා එ රජුන් සමඟි කැරැවූ සේක. මෙයින් පහන් වූ ඔහු එක් කුලයෙන් දෙ සිය පණස බැගින් ශාක්‍ය කෝලිය ද කුලයෙන් පන් සියයක් කුමරුන් භාග්‍යවතුන් වහන්සේ ට පිරිවර පිණිස දුන්හ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සියලු දෙනා ඒහිභික්ෂුප්‍රව්‍රජ්‍යායෙන් පැවිදි කළ සේක. එයින් පසු කිඹුල්වත් පුරට නො දුරු මහ වනයට ඔවුන් ගෙන වැඩි සේක. ඒ භික්ෂූන් ගේ පෙර අඹුවෝ නොයෙක් අයුරු පණිවුඩ යවන්නෝ ඒ භික්ෂූන් සිත් ගන්නට තැත් කළහ. භික්ෂූහු ද පැවිද්දෙහි ඇල්ම හළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පවත් දැන ඔවුන් සෘද්‍ධියෙන් හිමාලය වනයට ගෙන ගොස් එහි දී කුණාල ජාතකය වදාළ සේක. එය ඇසූ භික්ෂුහු ගිහි වීමේ අදහස දුරැ හළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍ය කථායෙන් ඔවුනට බණ වදාළ සේක.
ඒ ඇසීමෙන් ඔවුන්ගෙන් බාල ම තැනැත්තේ සෝවාන් විය. වැඩිමාළු තැනැත්තේ අනාගාමී විය. සෙස්සෝ සෙදගැමි වූහ. තව ද මෙහි දී බුද්ධානුභාවය දැක පැහැදි උසභ ශාක්‍ය කුමාර, ගෝතම ශාක්‍ය කුමාර, ශුද්ධෝදන රජුන්ගේ පුරෝහිත පුත් සප්පදාස, කෝලිය පුත් නිසභ ආදී අන්‍ය බොහෝ ජනයෝ ද පැවිදි වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගෙන මහ වනයට ම පෙරළා වැඩ ඔවුනට බණ වදාළ සේක. සියල්ලෝ ඒ දේශනාව ඔස්සේ සිත යවා විදසුන් වඩා රහත් වූහ.
ඉක්බිති ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පසෙක උන්හ, දස දහසක් සක්වළ දෙව් බඹුහු ද ඉතා සියුම්වෙස් ගෙන එහි රැස් වූහ. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා සමය සුත්තය[1] වදාළ සේක. ඉක්බිති එහි වූ රාගචරිත, ද්වෙෂචරිත, මෝහචරිත, ශ්‍රද්ධාචරිත, බුද්‍ධිචරිත, විතර්කචරිත යන චරිත සයින් ඒ ඒ චරිත ඇති දෙවියනට අවවාද කරනු පිණිස තමන් වහන්සේ ම වැනි බුදු රුවක් මවා, තමන් වහන්සේ ඉදිරියෙහි නැගෙන හිර පැත්තේ සම ආසනයක හිඳ ප්‍රශ්න අසන සේ සලස්වා, ඒ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රාග චරිතාදිනට සුදුසු සේ පිළිවෙළින් සම්මාපරිබ්බාජනිය සුත්ත, පුරාභෙද සුත්ත, කලහවිවාද සුත්ත, චූලවියුහ සුත්ත, මහාවියුහ සුත්ත, තුවටක සුත්ත යන[2] දේශනා සයින් දහම් දෙසූ සේක.
බුදුරජාණන් වහන්සේ මෙසේ කිඹුල්වත් පුර වසන සමයෙහි මහා ප්‍රජාවතීගෞතමී දේවී උන්වහන්සේ කරා එළැඹ, වැඳ එක් පසෙක සිට, ස්ත්‍රීනට සස්නෙහි පැවිදි වීමට අවසර දෙන ලෙස තුන් වරක් ම අයැදුවා ය. තවම එයට කාලය නො වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ එයට අවසර නුදුන් සේක. එ විට ඕ තොමෝ ශෝක පත් වැ කඳුළු පිරුණු මුහුණ ඇතිව හඬමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් වැ ගියා ය.
පස් වන වස විසාලා පුරයෙහි
බුදුරජාණන් වහන්සේ ටික කලක් කිඹුල්වත් පුරයෙහි වැස ඉන් නික්ම පිළිවෙළින් සැරි සරන සේක් විසාලා මහනුවරට සම්ප්‍රාප්ත වූ සේක. එ කල වර්ෂර්තුව විය. එබැවින් විසල් පුර සමීපයෙහි මහා වනයෙහි කූටාගාර ශාලා නම් විහාරයේ වුසූ සේක.