භාග්‍යවතුන් වහන්සේ ලක්දිව වැඩි දෙවෙනි ගමන

සැවැත් නුවර වසන භාග්‍යවතුන් වහන්සේ බක් අව පසළොස්වක් දා අලුයමැ ලොව බලා වදාරන සේක්, වහන්සේ චූලෝදර මහෝදර නම් නා රජුන් අතර මිණි පළඟක් නිසා විය හැකි යුද්‍ධයක් දැක ඔවුන් කෙරෙහි කරුණාවෙන් සෘද්‍ධියෙන් ලක්දිව වැඩි සේක. දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙහි කිරිපළු රුකට අධිගෘහිත සමිද්‍ධිසුමන නම් දේවතාවා එය උදුරා ඡත්ත්‍රයක් මෙන් භාග්‍යවතුන් වහන්සේ මත්තෙහි දරමින් ගෙනායේ ය. එසේ වඩනා භාග්‍යවතුන් වහන්සේ මණිනාග දිවයින් වැඩ, යුදයට සැරැසී සිටි නාග සේනාවට පෙනෙමින් අහසැ හිඳ, පෙළහර පා ඔවුනට බණ වදාරන සේක්, .

සංසාර දෝෂය ද මක්ඛ පලාසාදීන්ගේ ආදීනවය ද කාකෝලුක ජාතක, එන්දන ජාතක, ලටුකික ජාතක, වට්ටක ජාතක යන මෙයින් වෛර බැඳීමේ දෝෂ හා සමගියේ අනුසස් ද ප්‍රකාශ කොට අවවාද කළ සේක.

ධර්ම කථා ශ්‍රවණයෙන් සතුටු වූ දෙ පක්ෂයේ නා රජුහු සමග ව ඒ මිණි පළඟින් භාග්‍යවතුන් වහන්සේ පිදූහ. භාග්‍යවතුන් වහන්සේ එහි හිඳ ගත් සේක, ඉක්බිති නාගයෝ මධුර භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේ වළඳවා මනා ව බණ ඇසූහ. බොහෝ නාගයෝ සරණ සිද්‍ධි පිහිටියහ.

මහෝදර රජු ගේ මයිල් මණිඅක්ඛික නා රජ කැලණිපුර සිට යුද්‍ධ පිණිස එහි පැමිණ සිටියේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පූජ්‍ය වස්තුවක් ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ එ මිණිපළඟ ද තමනට සෙවණ කළ සමිද්‍ධි සුමන දේවතාවා අරක් ගත් කිරිපළු රුක ද නාගයනට පූජ්‍ය වස්තු කොට දී යලි දු අවවාදානුශාසන කොට පෙරළා ජේතවනාරාමයට ම වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ එක් සමයෙක සැවැත්නුවර වර්ෂා ඍතුව ගත කොට එයින් පසු දක්ෂිණාගිරි ජනපදයට වඩින්නට සැරැසුණු සේක. මේ පවත් ඇසූ අනේපිඬු සිටාණෝ ද විශාඛා උපාසිකාවෝ ද පසේනදී කොසොල් රජතුමා ද නොයෙක් කරුණු කියා තව ටික කලක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ම නවත්වා ගන්නට උත්සාහ කළහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ ඉල්ලීම නො පිළිගෙන ගමන වඩින්නට ම සැරැසුණු සේක. අනේපිඬු සිටාණෝ මෙයින් මහත් කණගාටු වී ගෙයි පැත්තකට වී කල්පනා කරමින් හුන්නෝ ය. සිටු හුගේ බැල මෙහෙවර කරන පුණ්ණා නම් දාසී එය දැක, “ස්වාමීනි, කණගාටු ගතියෙකින් ඉන්නේ ඇයි දැ?” යි ඇසුවා ය. සිටුතෙම කාරණය කීයේ ය. “ස්වාමීනි, මමත් උත්සාහයක් කැරැ බලන්නෙම්, මගේ උත්සාහය සාර්ථක වුවොත් මට දෙන්නේ මොනවා දැ?” යි ඇසුවා ය. “නුඹ දාසභාවයෙන් මුදා පවුලේ කෙනකුගේ තත්ත්වයට නංවමි” යි සිටු කී ය.

එ විට ඕ වහා දිව ගොස් ජේතවනයෙන් වඩනා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් “ස්වාමීනි, මට අනුකම්පාකොට මේ ගමන නවත්තන්නැ”යි කීවා ය. “මේ ගමන මා නැවැත්වීමෙන් නුඹට වන යහපත කිමෙක් දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළසේක. ඕ සිටුතුමා කී වචනය සැළ කොට “භාග්‍යවතුන් වහන්සේ මේ ගමන ටික කලකට නැවැත්තුවොත් මම් දාසිභාවයෙන් මිදීගත හෙන්නෙමි” යි කීවා ය.

භාග්‍යවතුන් වහන්සේ අනාගතාංශඥානයෙන් බලා මතු ඇය පැවිදි රහත් වන බව ද දුටු සේක. පුණ්ණා ගොස් සිටුතුමාට තමාගේ උත්සාහය සාර්ථක වූ බව පැවැසුවා ය. සිටුතෙම සොයා බලා භාග්‍යවතුන්වහන්සේ ආපසු වැඩි නියාව දැක සතුටු ව ඇයට ප්‍රශංසා කොට දාසභාවයෙන් ඇය මිදුයේ ය. විශාඛාවෝ ද පසේනදී රජ තුමා ද ඇයට ස්තූති කොට සත්කාර කළ හ. ඕ මෙහෙණි සස්නේ පැවිදි වැ ස්වල්ප කලෙකින් රහත් වූවා ය.