යටැ කී සේ තව්තිසා භවනයෙහි වස් වූසූ භාග්‍යවතුන් වහන්සේ එ තුන් මසෙහි නිතර දම් දෙසු සේක. භවනයෙහි ඒ දේශනා කළ පරිදි නම් : භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක් ම දම් දෙසා, ඉක්බිති තමන් වහන්සේ වැනි ම බුදුරුවක් මවා, “මා එන තෙක් මෙතෙක් ධර්මය දෙසා වා”යි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක. එහිදී නාලිය දැවටු වළඳා උතුරුකුරු දිවයිනේ පිඬු පිණිස හැසිර හිමවු පව්වට ම ආපසු වැඩ, එහි අනෝතත්ත විල ළඟ හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේ දී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති, වළඳා අවසානයෙහි, “සාරිපුත්‍රයෙනි, අද මම් මෙ තෙක් බණ කීමි, එය තමන් ඇසුරු කරන භික්ෂූනට උගන්වනු” යි නියෝග කොට තමන් එදිනෙදා තව්තිසා භවනයේ දී වදාළ බණ සැරියුත් තෙරුනට වදාරන සේක. ඉන්පසු තව්තිසා භවනයට වැඩ නිර්මිත බුදුරුව අතුරුදන් කොට, එ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.
ධර්ම දේශනාව තුන් මසෙකින් අවසන් විය. දේශනාවසානයේ දී මවු දෙව්පුත් සෝවාන් පෙලෙහි පිහිටියේ ය. අසූ කෝටියක් දෙවියෝ ද මාර්ග ඵල ලැබූහ.
පවාරණයට සත් දවසක් කලින් මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ “කවර දා වඩිනා සේක්දැ” යි ඇසූහ. ඉන් සත් වන දා සංකස්ස නගරද්වාරයට තව්තිසායෙන් බස්නා බවත් තමන් වහන්සේ දක්නා කැමැත්තන් එහි ඉයැ යුතු බවත් වදාළ සේක. සැවැත් නුවර සිට සංකස්ස නගරයට දුර යොදුන් රැසක් වුවත් ඒ සැවැත් පුර රැස්ව සිටි පිරිසට එහි යෑම සමීප විහාරයකට යන ගමනක් මෙන් ඉතා ඉක්මන් ද පහසු ද විය.
භාග්‍යවතුන් වහන්සේ වප් මස මැදිපෝදා පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි දී ම වස් පවරා, එදාම, ශක්‍ර බ්‍රහ්මාදීන්ගේ පූජෝත්සවයෙන් ගෞරව ලබමින් මහ පෙරහැරින් සංකස්ස නගර ද්වාරයට බැස්ස සේක. ඒ දුටු සැරියුත් තෙරණුවෝ බුදුරජුන් වැඳ එ වැනි බුද්ධ ශ්රියක් ඉන් පෙර තමන් නුදුටු බව, ආදිය කී කල, එය ඇරැබ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළ සේක. එය ඇසූ දෙවියන් ඇතුළු මහා පිරිසකට ධර්මාභිසමය විය. සැරියුත් තෙරුන්ගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂුහු රහත් වූහු. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනැත්තනට විෂය වූ ප්‍රශ්න පෘථග්ජන සෝවාන් ආදීන්ගෙන් පිළිවෙළින් අසා අන්තිමේ දී මේ සස්නෙහි මහා ප්‍රාඥ වූ සැරියුත් තෙරුන්ගෙන් බුදුවරුන් විසින් ම විසඳිය හැකි ප්‍රශ්න විචාළ සේක. එය මුල දී උන්වහන්සේට නො හැකි වූ නමුත්, ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද නය ක්රමයෙහි සිට විසඳිය හැකි විය. මෙයින් සැරියුත් තෙරුන් සෙසු සියල්ලට ම වඩා නුවණින් අග තන් පත් බව භාග්‍යවතුන් වහන්සේ පැවැසූ සේක.