භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි පසු භික්ෂුහු අනඳ තෙරුන් වෙත එළැඹ “ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ හුදෙකලා ව වැඩි සේක. අපිත් උන් වහන්සේ අනුව යම්හ” යි කීහ. “ආයුෂ්මත්නි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කාටත් නො දන්වා හුදෙකලාව වඩිනුයේ විවේකී ව තනි ව වසන අදහසිනි. ශ්‍රාවකයන් විසින් ශාස්තෘන් වහන්සේගේ අදහස අනුව හැසිරිය යුතු. එ බැවින් මේ දින වල භාග්‍යවතුන් වහන්සේ පසු පසින් නො යෑ යුතු යැ”යි කියා අනඳ තෙරණුවෝ ඒ භික්ෂූන් වැළැක්වූහ. තුමුද නො ගියහ.
බුදුරජාණන් වහන්සේ ද ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරන සේක්, බාලකලෝණකාර ග්‍රාමයට පැමිණ, එහි තනි ව වසන භෘගු ස්ථවිරයන් වහන්සේට මුළු පස්වරු කාලයේ ද, තුන් යම් රැය මුළුල්ලේ ද, හුදෙකලා වැ විසීමේ අනුසස් වදාරා, පසු දා තෙරුන් හා ගමේ පිඬු පිණිස හැසිර දන් වළඳා තෙරුන් එහි ම නතර කොට, තමන් වහන්සේ පළමු සේ ම හුදෙකලා ව එයින් පිටත් වූ සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ චෙති රට ප්‍රාචීනවංශ මෘගදායයට පැමිණ, එහි දී අනුරුද්ධ භද්දිය කිම්බිල යන තෙරුන් තුන් නමට රෑ තුන් යම්හි ම සමගියේ අනුසස් වදාරා, ඉන් හුදෙකලා ව ම නික්ම කෝසල ජනපදයෙහි වූ පාරිලේය නම් නුවරට සම්ප්‍රාප්ත වූ සේක. එහි වැස්සෝ පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා ගෙන අවුත් අසුන් පණවා වඩා හිඳුවා දන් දුන්හ. ඉක්බිති ඒ පාරිලේය නුවර සමීපයේ වන ලැහැබක පන්සලක් කොට, එහි වස්වසන්නට ආයාචන කොට, භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කැරැවූහ.
ඒ පන්සල ළඟ රම්‍ය සල් රුකක් විය. දිනෙක ඒ වෘක්ෂය යට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ එක් ඇතකු විසින් දක්නා ලද සේක. ඒ ඇතාත් විවේකී වූ වසනු කැමැත්තෙන් රැළින් වෙන් වූයෙකි.