ශුද්ධෝදන කුමරු

සිංහහනු රජුහු ගේ දරුවන් අතුරෙන් වැඩිමහලූ ශුද්ධෝදන (සුදොවුන්) කුමරු රූප සම්පත්තියෙන් සේ ම ශුර වීර බැවින් අන් හැමට වඩා විශිෂ්ට විය. යුද්‍ධ ශිල්පයෙහි ද ප්‍රවීණ විය. වරෙක ශාක්‍ය රටේ පසල් දනව්වෙක මහ කැරැල්ලෙක් පැන නැංගේ ය. සිංහහනු රජු එය සංසිඳුවනු පිණිස තම දරුවන් යැවීමට අදහස් කෙළේ ය. ශුද්ධෝදන කුමරු හැර සෙස්සෝ පසු බෑහ. ශුධෝදන කුමරු බල සෙනඟක් ගෙන පසල් දනව්වට ගොස් කැරළිකරුවන්ගේ බලය බිඳ ඔවුන් තමන් යටතට ගෙන දනව්ව සංසිඳුවා පෙරලා කපිලවාස්තු පුරයට අවුත් පියරජහු ඉදිරියේ පෙනී සිටියේ ය. රජ ඔහු කළ දෑ අසා බොහෝ පැහැද තමා කැමැති වරයක් ඉල්ලන්නැ”යි කී ය. සුදොවුන් කුමරු මහාමායා ප්‍රජාවතී යන සිය මයිලනුවන්ගේ දූන් දෙදෙනා ගැන බමුණන් කී අනාවැකි අසා තිබුණන් කවරදා හෝ මේ දෙදෙනා ම පාවා ගන්නෙමි” යි ඉටා ගෙන සිටියේය. “වරයක් ඉල්ලන්න”යි පියරජු කී බස අසා තමා ඉටූ දැය සිදුකැරැ ගන්නට කාලය පැමිණියේ වනැ යි සිතා, සිය මයිලණුවන්ගේ දූන් දෙදෙනා ම පාවාගන්නට අවසර ඉල්ලී ය.

විශේෂයෙන් සැළකියැ යුතු කරුණක් නැති වැ, එක් භාර්යාවකට වැඩියෙන් බිරියන් තබා ගැන්ම ශාක්‍යවංශික රජුන් ගේ නීතියෙන් තහනම් වූ දැයෙක. එබැවින් සිංහහනු රජ රාජ සභාව කැඳවා පුතු ගේ ඉල්ලීම එයට ඉදිරිපත් කෙළේ ය. රාජසභාව සුදොවුන් කුමරුගේ අදහස විචාරා එයට කී කරුණු විමසා බලා කුමරියන් දෙදෙනා ම පාවා ගන්නට අවසර දුන. සිංහහනු රජ අංජන රජුට පණිවුඩ යවා කැමැත්ත ගෙන ඔහු ගේ දූ කුමරියන් දෙදෙනා ම සුදොවුන් කුමරුට පාවා දී යුවරජ තනතුර ද පත් කෙළේ ය.

සිංහහනු රජුහුගේ ඇවෑමෙන් ශුක්ලෝදනාදී සොහොයුරු පිරිසත් ඇමැති මඬුල්ලත් එක් වැ ශුද්ධෝදන කුමරුට මහරජ තනතුර පැවරූහ. ශුද්ධෝදන රජතුමා ද සක්විති රජ කමට සුදුසු පුතකු පතා දෙවියන් යැදුම් ව්‍රත සමදාන ආදිය කෙරෙමින් දැහැමෙන් සෙමෙන් රට පාලනය කෙළේ ය.