ලෙඩකු දැකීම

කාලයෙක් ගත විය. යළි දු බෝසතාණෝ අසෝ දිනයෙහි උයන් කෙළි යම්හැ’යි පිය රජුට දැන්වූහ. ශුද්ධෝදන රජ ද අසෝදින පුත්‍රයාණන් උයන් කෙළි යතැ යි නුවරුනට දන්වා පෙර සේම මග දෙපස සරසවා රකවල් ලැවී ය. බෝසතාණන් වහන්සේ ද පෙර සෙයින් ම මහ පිරිසෙන් පිරිවැරුණෝ අස්රිය නැඟ නික්මුණහ. වැඩි දුරක් යන්නට නො ලැබිණ. කුෂ්ට රෝගයෙකින් පෙළෙන මහසැළක් සෙයින් ඉදිමුණු බඩ ඇති බරවා පා ඇති ලෙඩෙක් මහ මඟැ පැත්තෙකැ දක්නට ලැබිණ. බෝසතාණෝ මෙතරම් විකෘතියකට පැමිණියෙකු පෙර නොදුටුවත්, මේ කිසියම් කායික පීඩාවකට පැමිණියෙකැ යි අනුමානයෙන් දැන ගෙනත් තවත් විස්තර දනු කැමැත්තෝ, “අර කවරෙක් දැ?”යි ඡන්නයා අතින් විචාළාහ. ඡන්නයා “ඒ ලෙඩෙකැ”යි කීය. තව දුරටත් ප්‍රශ්න කිරීමේ දී කාට වුවත් මෙ බඳු තත්ත්වයක් ඇති විය හැකි බව පැවැසී ය. බෝසතාණන් වහන්සේ ගැඹුරට ම සිතූහ. “මම් නීරොගයෙමි”යි යන ආරෝග්‍ය මදය පහ විය. එය ඔස්සේ ම සිතන්නට වූහ. උයන් ගමන එපා විය. “ආපසු යම් හ”යි එදා ද ඉක්මනින්ම පෙරළා සිය පහයට ම ගියහ. එදා සුද්ධෝදන රජතුමා එපවත් ඡන්නයාගෙන් දැන ගෙන වඩාත් කැලැඹිණ. නිමිත්ත පාඨකයන් කී අනාවැකි එසේ ම හරි යන සේ පෙනුණෙන් රජගෙහි සියල්ලෝ නො සන්සුන් වූහ. බෝසතාණන් ගේ ප්‍රාසාදයේ ක්‍රීඩෝත්සවයනට අමුතු අමුතු අංග එකතු කරමින් උන්වහන්සේ ගේ සිත ඒවා අතට යොමු කරවන්නට බොහෝ උත්සාහ කළහ. බෝසතාණෝ ද යශෝධරාවෝ ද ජරාරෝගවලට ගොදුරු වන මේ කය බොහෝ ආදීනව ඇති එකකැයි සිතනුවෝ “කවර දා නම් මේවායින් මිදෙන මඟක් සොයන්නට යමෝ දැ?” යි සිතමින් කල් යැවූහ.