එදා වනාහි සේනානි නිගමයෙහි30 අධිපති කෙළෙඹිහු ගේ දූ වූ සුජාතාව කලෙක සිට සිරිත් පරිදි කරන වාර්ෂික දේව බලි පූජායෙහි දිනය විය. බෝසතාණන් ගොස් වැඩ හුන්නේ ඔවුන්ගේ දේවායතනය වූ රුක මුලැ ය. යථෝක්ත සිටු දූ බිලියම් පිණිස ගෙහි දිය නො මුසු කිරිබතක් පිළියෙල කරන්නී පුණ්ණා නම් දාසිය බණවා ‘නුගරුක මුල ඇමද පිළියෙල කරව’යි යැවූය. ඕ ද එහි ගියා, රුක් මුලැ වැඩ ඉන්නා බෝසතාණන් වහන්සේ ගේ අතුල්‍ය ආශ්චර්‍ය්‍ය දේහ ශ්‍රිය දැක. ‘වෘක්ෂ දේවතා යැ’යි සිතා ගත්තී, පෙරලා යුහු යුහුව ගොස් සුජාතාවට එපවත් සැළ කළා ය. එය අසා සුජාතා දේවී ප්‍රමුදිත වූවා එකෙණෙහි ඇය නිදහස් කළා ය. සියලූ ස්ත්‍රී පලඳනායෙන් ඇය මොනොවට සරසාලූ ය. තොමෝ ද දහසක් අගනා රන් තලියක් කිරිබතින් පුරා රන් තලියෙකින් වසා ඉස මත්තෙහි තබා ගෙන මහ පිරිවරින් නුග රුක අතට ගමන් ගත්තා ය. එ සේ යන ඕ සියලූ රුක ශරිර ප්‍රභායෙන් රන්වන් කොට, මූර්තිමත් වූ පින් කඳක් මෙන් බබලමින් වැඩ ඉන්නා ඒ බෝධිසක්ත වූ මහා සත්ත්ව රාජර්ෂීන් වහන්සේ දුරැ දී ම දුටුහ. දැක හටගත් ප්‍රීති සොම්නස් ඇති වැ, ඒ දුටු තන් සිට ම නැමී නැමී ගොස් වෙත එළැඹ, හිසින් රන්තලිය බා ගෙනැ, පියන හැර, බෝසතාණන් අතැ තබා, පසඟ පිහිටුවා වැඳ, “මගේ මනෝරථය යම් සේ මස්තකප්‍රාප්ත වී ද, එ සේ ම ඔබ වහන්සේ ගේ මනෝරථය ද නිපදීවා”යි 33 කියා රන්තලිය ද බෝසතාණනට ම පියා පැදකුණු කොට නික්ම ගියා ය.