සූර්‍ය්‍ය තෙම අවර දිගට නැමී ගමන් ගත්තේ ය. මල් සුවඳින් උපන් මදයෙන් මුදිත ව හඩ නඟන බමර කැල ගෙන් ද, අතු අගැ රඟ දෙන මයුර පංක්තීන්ගෙන් ද සෙසු සියලු පක්ෂි නාදයනට නිගා දී හඩ නඟන කෝකිල සමූහයා ගෙන් දැ යි අනේක පක්ෂි කුලයන්ගෙන් හා මෙය නිරුපද්‍රිත යැ”යි දැනැ පෙම් කෙළිමින් සිය දරුවන් කැටි ව දිව පැන ඇවිදුනා මෘගාදීන් ගෙන් දැ යි මෙසේ අනේක විධ මෘග පක්ෂි ගණයා ගෙන් සවස් කාලයෙහි ඍෂිපතනය රඟ බිමෙක ශ්‍රී ඉසලී ය. කොන්ඩඤ්ඤ භද්දිය වස්ස මහානාම අජ්සජී යන තවුසෝ පස් දෙන එක් එළි මහන් පෙදෙසකැ රැස් වූහ. ඔවුනට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ අනුපමේය බුද්‍ධශ්‍රීන් බබළමින් අස්නෙකැ වැඩහුන් සේක. එ කෙණෙහි බොහෝ දිව්‍ය බ්‍රහ්ම යක්ෂ සමූහයෝ ගලා එන මහ වතුරක් සේ සියුම් වෙස්ගෙන එහි රැස් වූහ.
භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛය විවෘත කොට බ්‍රහ්ම ස්වර විහිදුවා දම් දෙසන්නට ආරම්භ කළ සේක. ඒතාක් පැවැති සියලු ශබ්ද නැවතී දැඩි නිශ්ශබ්දතාවෙක් ඇති වි ය. සියලු මෘග පක්ෂීහු ද නිහඬ ව හුන් තැන ම හිඳ උන් වහන්සේ ගේ මධුර කට හඬට කන් යොමු කළහ.
සද්ධර්මවර චක්‍රවර්ති වූ ද්විපදෝත්තම ශාක්‍යසිංහ සාමිදරුවන් වහන්සේ පස්වග තවුසන් අමතා මෙසේ වදාළ සේක.