ශාතාගිර හා හෙමවත

දම්සක් පැවැත්වීමෙහි දී ඇති වූ පෘථිවිකම්පනාදි ප්‍රාතිහාර්‍ය්‍ය යකුන් අතුරෙන් පළමු ව දුටුයේ ශාතාගිර 98 නම් යක් සෙනෙවියා යි. “මෙයට හේතු කවරේදැ?” යි විමසා දැන ගත් හෙතෙම සිය පිරිස කැටි ව අවුත් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනාව ඇසීය. එහෙත් හේ සොවාන් වීම වැනි කිසි ගුණ විශේෂයක් නො ලැබීය. කවර හෙයින් ද? යත් : සිය මිතුරු හේමවතයා නා බව දැන එය ගැන සිතමින් නොඑකඟ සිතින් සිටි හෙයිනි.

ශාතාගිර තෙම “යහළුවා කැඳවා ගෙනෙමි” යි ආකාශචාරී වැ මවාගත් හස්තියාන අශ්වයාන ගරුඬයානාදියෙන් සිය පිරිස හා හිමවත අතට පිටත්ව ගියේ ය.

තථාගතයන් වහන්සේ ගේ ප්‍රතිසන්ධි උත්පත්ති අභිනිෂ්ක්‍රමණ සම්බෝධිප්‍රාප්ති පරිනිර්වාණ අවස්ථාවන්හි පහළ වන පෙර නිමිති වැඩි වේලා නො සිටින නුමුත් දම්සක් දෙසන අවස්ථාවෙහි පහළ වූ පෙර නිමිති වනාහි විශේෂ වැ වැඩි වේලා පැවැත්තේ ය.

හිමවතැ නොකල් මල් පිපීම් ආදිය දුටු හේමවත යක්ෂ ද “මා මිතුරා හා මේ පුෂ්ප ශ්‍රී විඳීමි”යි ශාතාගිර යකු කැඳවා ගනු පිණිස මධ්‍ය දේශාභිමුඛ ව නික්මියේ ය.

මෙසේ දෙ දෙසින් පිටත් වැ ආ මිත්‍රයෝ දෙදෙන රජගහ පුර මත්තෙහි දී හමු වූහ. හමු ව ඔවුනොවුන් දක්නට ඊමට හේතු විචාළහ.

කිසි කලෙකැ නො දුටු විරූ නො කල් මල් පිපීමෙන් හිමවත් පෙදෙස අභිරාම ව බබළන බවත්, ඒ පුෂ්ප ශ්‍රී විඳින රිසියෙන් මිතුරා සොයා තමා ආ බවත් හේමවත යක් කී ය.

“මේ අකල් මල් පිපිම් පෙළහරට හේතු දනු දැ?” යි ශාතාගිර ඇසී ය.

“නො දනිමි” යි හේමවත කීය.

“නිදුක, මේ පෙළහර හිමවතැ ම නොවේ. වැලි දස දහසක් ලෝ දා පහළ වූයෙක. සම්මා සම්බුදුහු ලෝ උපන්හ. අද දම්සක් පැවැත්තූහ. ඒ කාරණයෙන් මේ පෙළහර වී යැ” යි ශාතාගිර තෙම බුදුරජුන් පහළ වූ බව පැවැසී ය.

ඉක්බිති හේ හේමවතයා කැඳවනුයේ “අද පසොළොස්වක් පොහොයයි. පුන්සඳ එලියෙන් බබළන රාත්‍රියක් ද එලැඹ සිටියේ ය. ඒකාන්ත විශ්වාස ඇතිව එව, යම්හ. අලාමක නම්99 ඇති ගෞතම ශාස්තෲන් වහන්සේ දකුම් හ” යි කීය.

ඉක්බිති පහත සඳහන් පරිදි ඔවුන්ගේ කථාව වී ය.

හේමවත : කිමෙක් ද? එ තොප ශාස්තෘහුගේ සිත මනා ව පිහිටියේ ද? හෙතෙම සියලු සතුන් කෙරේ සම සිත් ඇත්තේ ද?100 කිමෙක් ද, ඉටු අනිටු අරමුණෙහි රාග ද්වේෂ වශයෙන් පහළ වන සංකල්ප එතුමා විසින් වශඟ කරන ලද ද?

ශාතාගිර: “එ තාදීහු[1] ගේ සිත මනා වැ අචල වැ සියල්ල කෙරේ සම වැ පිහිටියේ ය. ඉටු අනිටු අරමුණු විෂයයෙහි සංකල්පයෝ උන් වහන්සේ විසින් වශඟ කරන ලදහ.”

හේමවත : “කිමෙක් ද හෝ අන්සතු දෑ සොර සිතින් නො ගනී ද? පණිවායෙන් දුරු වූයේ ද? අබ්රම්සරින් දුරු වී ද? ධ්‍යානය හිස් නොකෙරේ ද (නො හරී ද?)?”

ශාතාගිර: “බුදු රජාණන් වහන්සේ අන් සතු නො දුන් දෑ නො ගන්නා සේක. පණිවායෙන් ද වැළැකී සේක. අබ්රම්සරින් දුරු වූ සේක. ධ්‍යානය නො හරිනා සේක.”

හේමවත : “කිමෙක් ද, ඒ යුෂ්මත්හුගේ ශාස්තෘ තෙම බොරු නො තෙපලා ද? පරුෂ බස් නො බෙණේ ද? කේලාම් නො කියා ද? ප්‍රලාප බස් නො දොඩා102 ද?”

ශාතාගිර : “උන් වහන්සේ බොරු නො තෙපලන සේක. පරුෂ බස් නො බණිනා සේක. කේලාම් නො කියන සේක. ප්‍රලාප නො දොඩන සේක. නුවණින් පිරිසිඳ වැඩ පිණිස පවත්නා වචන ම103 වදාරන සේක.

හේමවත : “කිමෙක්ද? හේ කාම වස්තූන් කෙරෙහි නෑ ලේද? ඔහු සිත ව්‍යාපාදයෙන් නො කැළැඹුණේ ද?

මිථ්‍යාදෘෂ්ටියට හේතු වූ මුළාව ඉක්මියේ ද? ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිලැ පවත්නා සමතැස් ඇත්තේ ද?

ශාතාගිර : “ඒ භාග්‍යවතුන් වහන්සේ පංච කාමයන්හි නො ඇලෙන සේකි. උන්වහන්සේ ගේ සිත ව්‍යාපාද

දෝෂයෙන් නො කැළඹුණේ ය. උන් වහන්සේ මෝහය ද ඉක්මි සේකි. ඒ බුදුරජාණන් වහන්සේ සකල ඥෙය ධර්ම විෂයයෙහි නො පැකිළ පවත්නා සමතැස් ඇති සේක.”

හේමවත : “කිමෙක? එ ශාස්තෘහු අෂ්ට විද්‍යායෙන් යුක්ත ද?104 පිරිසිදු චරණ ධර්ම ඇත්තෝ ද? ඔවුන් විසින් ආස්‍රවයෝ නසන ලදු ද? ඔවුනට පුනර්භවයෙක් නැද්ද?”

ශාතාගිර: “ඒ ශාස්තෘන් වහන්සේ අෂ්ට විද්‍යායෙන් ද සම්පන්න සේක. පිරිසිදු චරණ ධර්ම ද ඇති සේක.

උන්වහන්සේගේ පුනර්භවයෙක් නැත.

හේමවත : “ඒ මුනීන්ද්‍රයන් වහන්සේන්ගේ සිත සම්පූර්ණද? විද්‍යා චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ උන් වහන්සේට යුෂ්මත්හු බෝ ගුණ දැන ම ඇති ගුණයෙන්ම ප්‍රශංසා කරවුද?”

ශාතාගිර : “එසේය මිත්‍රය, ඒ මුනීන්ද්‍රයන් වහන්සේගේ සිත ඒ කී පරිදි ම සම්පූර්ණ ය. පිරිසිදු කාය වාක් මනඃ කර්මයෙනුත් සම්පූර්ණය. ඒ යුෂ්මත්හු විසින් මොනවට දැන ගන්නා ලද්දේ ය. එ සේම යැ යි මැනැවින් පිළිගන්නා ලද්දේ ද වේ.”

“ඒ මුනීන්ද්‍රයන් වහන්සේ ගේ සිත සම්පූර්ණය, කාය වාක් මනඃ සුචරිත සම්පන්නය. සැක රහිත ව එය දැන ගන්න. එසේ වූ විද්‍යාචරණ ධර්මයන් ගෙන් යුක්ත උන් වහන්සේ දැකුම්හ.” (මේ තාක් කළ කථාව නුවණින් සැලකූ හේමවතයා එහි දී සෝවාන් විය.) භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තවත් තොරතුරු ශාතාගිරයා වෙතින් අසා දත් හේමවත යක් තෙම මෙසේ ද කී ය.

හේමවත : “එව මිත්‍රය, යම්හ, ඒනි මෘගයකුගේ වැනි ක්‍රමයෙන් වට වූ කෙංඩා105 ඇති ස්ථුල නොවූ සිරුරක් ඇති, වීර වූ, ස්වල්පහාර ඇති ආහාරයෙහි ලොල් නො වූ, මුනි ගුණ ඇති107 වනයෙහි ධ්‍යාන කරන ඒ ගෞතමයන් වහන්සේ දකුම්හ. සිංහයකු මෙන් එකචාරි වූ, පව් නො කරන, කාමයන්හි අපේක්ෂා රහිත ගෞතමයන් වහන්සේ කරා එළැඹ මරහුගේ මලින්108 මිදීමට නිමිත්ත වූ නිවන විචාරමු.”

  1. තාදී - ලාභඅලාභාදියෙන් කම්පා නොවන්නා