අව විසේනිය දා අනන්ත ලක්ඛණ සුත්ත දේසනාව
නැවැත අව විසේනිය දා භාග්‍යවතුන් වහන්සේ ඒ කොණ්ඩඤ්ඤ ආදී පස් නම ම අමතා අනාත්ම ලක්ෂණ සූත්‍රය වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ: මහණෙනි, රූපය ආත්ම (තමා) නොවේ. මේ රූපය ආත්ම වේ නම්, ආබාධ පිණිස නො පවත්නේ ය. “මාගේ රූපය මෙසේ වේවා මෙසේ නම් නො වේ වා” යි රූපයෙහි තමා රිසි අයුරෙක් ලැබෙන්නේ ය. එහෙත් මහණෙනි, රූපය ආත්ම නොවන බැවින් ම ආබාධ පිණිස පවතී. “මෙසේ මගේ රූපය වේ වා, මෙසේ නම් නො වේවා! යි තමා රිසි අයුරෙක් රූපයෙහි නො ලැබෙන්නේ ය.
මහණෙනි, වේදනාව ආත්ම නො වේ. මේ වේදනාව ආත්ම වේ නම් ආබාධ පිණිස නොපවත්නේ ය............
මහණෙනි, සංඥාව ආත්ම නො වේ. මේ සංඥාව ආත්ම වේ නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............., මහණෙනි, සංස්කාරයෝ ආත්ම නො වෙත්. මේ සංස්කාරයෝ ආත්ම වෙත් නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............. මහණෙනි, විඥානය ආත්ම නොවේ. මේ විඥානය ආත්ම වේ නම් ආබාධ පිණිස නො පවත්නේ ය.............. මහණෙනි, රූපය නිත්‍ය ද? නොහොත් අනිත්‍ය ද? තෙපි මේ කිමැයි සිතවු ද?
පස්වග මහණහු : වහන්ස, ඒ අනිත්‍ය යි.
භාග්‍යවතුන් වහන්සේ : යමෙක් අනිත්‍ය නම් ඒ දුක් ද නො හොත් සුවද?
පස්වග මහණහු: ඒ දුක්ය, වහන්ස.
භාග්‍යවතුන් වහන්සේ: යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම් පෙරැළෙන සුලු නම්, එය “මෙය මගේ ය, මේ මම ය,
මේ මා තමා යැයි දක්නට සුදුසුද?
පස්වග මහණහු: ඒ (එ සේ දක්නට) නම් සුදුසු නො වේ මය, වහන්ස.
වේදනා සංඥා සංස්කාර විඥාන යන සතර ගැනත් මෙසේ ම ප්‍රශ්න උත්තර කථාව විය.
භාග්‍යවතුන් වහන්සේ: එහෙයින් මහණෙනි, අතීතානාගත හෝ වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර වූ, ඖදාරික හෝ ශූක්ෂම වූ, හීන හෝ ප්‍රණීත වූ දුරැ හෝ සමීපයේ වූ යම් රූපයෙක් වේ ද, එ සියලු රූපය “මෙය මගේ නොවේ. මෙය මම් නො වෙමි. මෙය මගේ ආත්මය නො වේ යැ” යි මෙසේ තත් වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥායෙන් දැක්කැ යුතු ය.
අතීතානාගත හෝ වර්තමාන වූ යම් වේදනාවෙක් වේ ද.... අතීතානාගත හෝ වර්තමාන වූ..... යම් සංඥාවෙක් වේ ද ...... අතීතානාගත හෝ වර්තමාන වූ....... යම් සංස්කාර කෙනෙක් වෙත්ද....... අතීතානාගත හෝ වර්තමාන වූ........ යම් විඥානයෙක් වේද....... එ මේ සියලු විඥානය “මෙය මගේ නො වේ, මම් නො වෙමි, මගේ ආත්මය නො වේ යැ” යි මෙසේ ඇති සැටි ලෙස සම්‍යක්ප්‍රඥායෙන් දැක්කැ යුතු ය.
මහණෙනි, මෙසේ දක්වා ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම රූපය කෙරෙහි කලකිරේ, වේදනාව කෙරෙහි කලකිරේ, සංඥාව කෙරෙහි කලකිරේ, සංස්කාර කෙරෙහි කලකිරේ, විඥානය කෙරෙහි කලකිරේ. කලකිරෙන්නේ එහි ඇල්ම දුරු කෙරේ, ඇල්ම දුරු කිරීමෙන් සියලු කෙලෙසුන්ගෙන් මිදේ, මිදුණු කලැ මා සිත මිදුණේ යැ යි දැනීම වේ. මතු ඉපදීම ක්ෂීණ විය, මාර්ග බ්‍රහ්මචර්යයාව වැසනිමවන ලද්දේ ය. (රහත් බවට පැමිණියෙමි.) දුකින් මිදීමට කළමනා සියලු (ගෝඩෂ විධ) කෘත්‍යය කරන ලද්දේ ය. මේ රහත් බව පිණිස තවත් කළ යුතු කිසිත් නැතැ” යි දැන ගනී.
භාග්‍යවතුන් වහන්සේ ගේ මේ දේශනාව ඇසීමෙන් ඒ පස්වග මහණහු සියල් කෙලෙස් නසා රහත් වූහ.