“බරණැස පටන් උරුවෙලාව තෙක් පිහිටි මහා මාර්ගයෙන් වඩනා බුදුරජාණන් වහන්සේ මහ වනය පැත්තෙක පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක මගින් ඉවත් ව එහි වැඩ රුකක් මුලැ හුන් සේක.
මේ වේලෙහි තිසක් භද්‍රවර්ගීය කුමරුවෝ117 සිය බිරියන් හා ඇවිදින්නට යන්නෝ, ඉන් බිරියක නැති කුමරුට වේශ්‍යා ස්ත්‍රියක ද ගෙන්වා ගෙන, එ වන ලැහැබෙහි ප්‍රීතියෙන් ඇවිද්දෝ ය. එහි දී වේශ්‍ය ස්ත්‍රී කුමරුන්ගේ පමාවක් දැක ඔවුන්ගේ බඩුත් ගෙන පලා ගියා ය. කුමරුවෝ ඇය සොයමින් ඇවිදුනෝ රුකක්මුලැ හුන් භාග්‍යවතුන් වහන්සේ දැක එහි පැමිණැ, “වහන්ස, භගවත්හු මේ පැත්තෙන් යන ස්ත්‍රියක දුටුහු දැ?” යි ඇසූහ.
“ළමයිනි, තොපට ස්ත්‍රියක සෙවීමෙන් ඇති කම කිම් දැ?”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.
“වහන්ස, භාර්යාවන් හා අපි මෙහි සෙල්ලම් පිණිස ඇවිදින්නමෝ අපේ එක් කුමරකුට භාර්යයාවක නැති බැවින් වේශ්‍යා ස්ත්‍රියක ගෙන්වා ගතුමු. ඕ අපේ ප්‍රමාදයක් දැක බඩුත් රැගෙන පලා ගියා ය. යහළු කුමරුට උදවු වශයෙන් ඇය සොයමින් මෙසේ ඇවිදිමු” යි කීහ.
“ළමයිනි, තමන් සොයා ගැන්ම වඩා උතුම් ද? නැත හොත් (අන්‍ය) ස්ත්‍රියක සෙවීම වඩා උතුම් ද? තෙපි මෙය කෙසේ සිතවු ද?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක.
“ස්වාමීනි, අපි අපම සොයමෝ නම්, ඒ සෙවීම් උතුම් යැ” යි ඔහු උත්තර දුන්හ.
“එහෙනම් ළමයිනි, ඉඳ ගනිමු. යුෂ්මත්නට තමන් සොයා ගන්නා සැටි කියන්නෙම්” යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
ඔහු ද “එහෙයි, ස්වාමීනි” යි කියා භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට පැත්තෙකැ ඉඳ ගත්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාන කථා ශීල කථාදි පිළිවෙල කථායෙන් අවවාද අනුශාසනා කළ සේක. එය ඇසීමෙන් ප්‍රසන්න වූ මෘදු මොළොක් වූ සිතැති ඔවුනට චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. එය ඇසීමෙන් ඔවුනට දහම් ඇස පහළ වී ය. (හෙවත් සමහරු සෝවාන් වූහු, සමහරු සකෘදාගාමී වූහු. අන්හු අනාගාමි වූහ.) මෙසේ ආර්‍ය්‍ය භූමියට පැමිණි එ කුමරුවෝ බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ඉල්ලූහ. බුදුරජාණන් වහන්සේ ද ඒහිභික්ෂුපසම්පත්තියෙන් ඔවුන් පැවිදි උපසපන් කළ සේක. ඔවුන් ගේ භාර්යයාවෝ ආපසු සිය මාලිගාවනට ගියහ.
දෙවෙනි ධර්මදූත පිරිස තිස්දෙනෙක්
භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් තිස් නම ද ධර්මදූත මෙහෙයෙහි යෙදීම පිණිස දිසාවන්හි යවා තමන් වහන්සේ හුදෙකලා වැ උරුවිල්වා ජනපදය බලා ගමන්ගත් සේක.