පළමු පෙළහර

භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවු වැඩ උරුවිල්වාකාශ්‍යපයා ගේ ආශ්‍රමය වෙත එළැඹි සේක. උරුවිල්වා කාශ්‍යපයාට කථා කොට “කාශ්‍යපය, මගේ ඉදීම නුඹට බරක් (කරදරයෙක්) නො වේ නම් එක් රැයක් ගිනිහල් ගෙයි වසනෙමි?” යි වදාළ සේක.

“මහා ශ්‍රමණය, එහි ඉඳීම මට නම් බරෙක් නො වේ. එහෙත් එහි ඉතා රෞද්‍ර නාගයෙක් ඉඳී. ඌ ඔබට වෙහෙසක් වත් කෙරේ දෝ!”යි උරුවෙල්කසුප් කී ය.

“මට උගෙන් පීඩා ඇති නො වේ. එ බැවින් ගිනිහල් ගෙයි ඉඳීමට අවසර දුන මැනැවැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“මහා ශ්‍රමණයාණනි, එසේ හැකි නම් සුව සේ එහි වුසුව මැනැවැ” යි කියා ජටිල අනුදත්තේ ය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩ තණ ඇතිරියක් පණවා ගෙන එහි හුන් සේක. එහි වැඩි බුදුරජාණන් වහන්සේ දුටු නා රජ කුපිත ව දුමා ගියේ ය.

“මොහු ගේ සිවි මස් නහර ඇට ඇටමිදුලු යන මේ කිසිවකට පීඩා නො වන සේ, මගේ සෘද්‍ධි තේජසින් මොහු ගේ තෙද මැඩ පවත්වන්නෙමි” යි සිතා බුදුරජාණන් වහන්සේ ද සෘද්‍ධි බලයෙන් දුම් විහිදුවූ සේක. ක්‍රෝධය නො ඉවැසිය හැකි වූ නාග තෙම ගින්නෙන් දිලිහුණේ ය. බුදුරජාණන් වහන්සේත් (සෘද්‍ධි බලයෙන්) ගින්නෙන් දිලිහුණු සේක. එයින් මුළු ගිනිහල් ගෙය ගිනි දැල් සහිත වුයේ, ගිනි ඇවිලැ ගත්තාක් මෙන් පෙනුණේ ය.

එය දුටු තවුසෝ ඊ වටා රැස්වී “අහෝ! ශෝභාවත් මහා ශ්‍රමණයා නාගයා විසින් පෙළෙනු ලැබේ!”යි කීහ.

රෑ පාන් වූ පසු බුදුරජාණන් වහන්සේ ඔද බිඳුණු නාගයා පාත්‍රයෙහි බහා ගෙන ගොස් “කාශ්‍යපය, මෙන්න ඔබේ නාගයා! ඔහු ගේ තේජස මගේ තේජසින් මැඩ පැවැත්වීමි” යි කියා උරුවිල්කාශ්‍යපයාට ඌ පෙන්වූ සේක. මෙය දුටු හේ “එ තරම් චණ්ඩ පරුෂ සෘද්‍ධිමත් නයකු දැමූ මහා ශ්‍රමණයා මහත් සෘද්‍ධි ඇති මහානුභාව ඇති කෙනෙක් ම ය. එහෙත් මා සේ රහතෙක් නම් නො වේ යැ” යි සිතුයේ ය.

ඒ පෙළහර දැක්මෙන් සතුටු වූ උරුවිල්වාකාශ්‍යප ජටිල තෙම භාග්‍යවතුන් වහන්සේ කෙරේ ඉතා පැහැදී “මහා ශ්‍රමණයාණෙනි, මෙහි ම වුසු වැ මැනැවි. හැමදාම මම බතින් සංග්‍රහ කරන්නෙමි” යි කීය.