රජගහ පුර තල්වනයට වැඩීම

භාග්‍යවතුන් වහන්සේ ඒ දුරුතු මැදි පෝදා ම දා පුරාණ ජටිල භික්‍ෂූන් කැටුව උරුවෙල් දනව්වෙන් නික්මුණු සේක. එසේ වඩනා බුදුරජාණන් වහන්සේ රජගහ පුරයට තුන් ගව්වකට ඈත් හි වූ තල් වනයට121 පැමිණ, එහි නුග රුක්මුලැ වුසූ සේක. උන්වහන්සේ එහි වසන බවත් උන්වහන්සේ ගැන රටේ පැවැති ගුණ සෝෂයත් ඇසූ බිම්සර රජ 120000 ක් පමණ වූ ජන සමූහයක් කැටුව ඔබ දක්නට ආයේ ය. අවුත් දැක ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්තේ ය.

රජු හා ගිය පිරිසේ සමහරු භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර බස් කථා කොට ද, තවත් කෙනෙක් උන්වහන්සේ දෙසට ඇඳිලි බැඳ හිස නමා ආචාර කොට ද, ඇතැම් කෙනෙක් උන්වහන්සේගේ සමීපයෙහි තමන් නම් ගොත් අස්වා ද, අන් සමහරු මේ කිසිත් නො කොට නිශ්ශබ්දව ද හිඳ ගත් හ. එසේ හුන් පිරිසට “කිමෙක් ද? ශ්‍රමණ ගෞතමයෝ උරුවිල්වාකාශ්‍යපයන්ගේ ශිෂ්‍ය වැ මහණ දම් කරත් ද? නැතහොත් උරුවිල්වාකාශ්‍යපයෝ ශ්‍රමණ ගෞතමයන් ගේ ශිෂ්‍ය වැ මහණ දම් පුරත් දැ” යි සැකයෙක් විය. එය දුටු බුදුරජාණන් වහන්සේ “කුමක් හෙයින් ගිනි පිදීම අත් හරින ලද දැ?” යි උරුවිල්වාකාශ්‍යපයන් ගෙන් විචාළ සේකි. එ විට බුද්‍ධ වචන අසා ගිනි පිදීමේ නිෂ්ඵලතාව තේරුම් ගෙන එය හළ බවත්, තමන් බුද්‍ධශ්‍රාවක බවත් කාශ්‍යප තෙරණුවෝ පැවැසූහ. පැමිණ සිටි පිරිස ගේ සැක එයින් ම දුරු විය. මෙහි දී වච්ඡපාල බ්‍රාහ්මණ ආදී හු පැහැදී තෙරුවන් සරණ ගියෝ ය.

ඉක්බිති උරුවිල්වාකාශ්‍යපයන් දමනය කිරීම ගැන පිරිස ස්තූති කළ විට ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ඉන් පෙරත් තමන් විසින් ඔහු දමිත කළ බව වදාරා මහානාරද කාශ්‍යප ජාතකය122 දෙසූ සේක.