තුදුස්වන භාවනා පදය.
ස්කන්ධයෝ ව්‍යාධි ජරා මරණාදියෙන් නිතර සැලෙන්නෝ ය.
නිරෝගී පුද්ගලයාගේ ස්කන්ධයෝ රෝගයෙන් වෙනස් වෙති. තරුණයාගේ ස්කන්ධයෝ ජරාවෙන් වෙනස් වෙති. ජීවත්වන්නහුගේ ස්කන්ධයෝ මරණයෙන් වෙනසේ වෙති. ශීතකාලයේ ස්කන්ධයෝ උෂ්ණකාලයේ දී වෙනස් වෙති. උෂ්ණකාලයේ දී ස්කන්ධයෝ ශීත කාලයේ දී වෙනස් වෙති. දවාලේ ස්කන්ධයෝ රාත්‍රියේ දී වෙනස් වෙති. රාත්‍රියේ ස්කන්ධයෝ දවාලෙහි වෙනස් වෙති. යාමෙහිදී පැවති ස්කන්ධයෝ සිටීමෙහිදී වෙනස් වෙති. සිටීමේදී පැවති ස්කන්ධයෝ හිඳීමේ දී වෙනස් වෙති. හිඳීමෙහිදී පැවති ස්කන්ධයෝ වැතිරීමෙහිදී වෙනස් වෙති. අත්පා පහත හෙළා තිබිය දී පැවති ස්කන්ධයෝ එසවීමෙහිදී වෙනස් වෙති. අෂ්ටලෝක ධර්මය අනුව ද ස්කන්ධයෝ වෙනස් වෙති. ලාභ ඇති කාලයේ ස්කන්ධයෝ දුප්පත්වීමෙන් වෙනස් වෙති. පිරිවර ඇති කාලයේ පැවති ස්කන්ධයෝ පිරිවර නැතිවීමෙන් වෙනස් වෙති. ප්‍රශංසා ඇති කාලයේ ස්කන්ධයෝ නින්දා ලැබීමෙන් වෙනස් වෙති. සැප ඇති කාලයේ ස්කන්ධයෝ දුකේදී වෙනස් වෙති. මෙසේ ස්කන්ධයෝ කිසි ස්ථිරත්වයක් නැති ව නළියන පණු ගොඩක් සේ නළියමින් පවතිත්. මෙහි සෙලවීමය යි කියන ලද්දේ පළමු පහළ වූ සංස්කාරයන් බිඳී ඒ තැන්වල අලුත් සංස්කාරයන් පහළ වීම ය. ශරීරය සැම තැන ම රූපකලාප ඉපද ඉපද බිඳී යන සැටි නුවණින් බලනු. වේදනා සංඥා සංස්කාර විඥාන යන අරූපස්කන්ධ සතරේ සැලීම හෙවත් වෙනස්වීම ද කල්පනා කොට තේරුම් ගත යුතු ය.
“පඤ්චක්ඛන්ධෙ චලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අචලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
ස්කන්ධයන් සැලෙන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නො සැලෙන නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.