අටළොස්වන භාවනා පදය.
ස්කන්ධයෝ සත්ත්වයනට ආරක්ෂාස්ථාන නො වන්නේ ය.
ස්කන්ධයන් වධකයන් සතුරන් වුව ද ඒවා ආත්මය කොටගෙන ඒවායේ ඇලී සිටින්නවුන්ට ස්කන්ධයන් නිසා තාවකාලික සැප ද නො ලැබෙන්නේ නො වේ. ඒවායින් මුළා වූ සත්ත්වයෝ ඒ ස්කන්ධයන් තමන් ගේ ආරක්ෂාවන් වශයෙන් ද, ආරක්ෂා ස්ථානයන් වශයෙන් ද සලකා ඒවායේ ඇලී සිට ජරා ව්‍යාධි මරණාදි අනේක ප්‍රකාර දුඃඛයන් ලබති. විටෙක සැප සම්පත් සලසා දී අන්තිමයේ මහ දුක් ගෙන දෙන ස්කන්ධයෝ ගෙවල් ලෙන් ගුහා බලකොටු ආදිය සේ ආරක්ෂාස්ථාන කර ගැනීමට නුසුදුස්සෝ ය. ඒවා ආරක්ෂාස්ථාන කරගෙන ජරාමරණාදි දුඃඛයන් කෙරෙන් කිසිසේත් නො මිදිය හැකිය. ජරාමරණාදි දුඃඛයන් පමුණුවන ස්කන්ධයන් ඒවායින් ආරක්ෂාවීම සඳහා උපයෝගී කරගන්නට යාම ඉමහත් මුළාවෙකි.
“පඤ්චක්ඛන්ධෙ අලේණතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ ලේණං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් ආරක්ෂාස්ථාන නො වන්නවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආරක්ෂාස්ථානය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.