විසිවන භාවනා පදය.
ස්කන්ධයෝ නිත්‍ය භාවාදියෙන් සිස් වූවෝ ය.
දෙවියෝ ය, බ්‍රහ්මයෝ ය, මනුෂ්‍යයෝ ය, තිරශ්චීනයෝ ය කියා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් ඒ සියල්ලෝ ම ඉපද ඉපද බිඳි බිඳී යන සංස්කාර පරම්පරාවෝ ය. ඇතැම්හු මේ සත්ත්ව සමූහය දෙස හා බාහිර ලෝකය දෙස බලා “මේ සත්ත්ව සමූහයත් ලෝකයත් මෙසේ නිකම් ම ඇතිවන්නට නොපිළිවන. ලෝකය හා සත්ත්වයන් මෙසේ ක්‍රමානුකූලව සාදන යම්කිසි බලවතකු විය යුතු ය. ඔහු විසින් මේ සත්ත්ව සමූහය හා ලෝකය මවන්නට ඇතය” යි කල්පනා කළහ. මැවුම්කරු කවරේ ද කොහි වෙසේදැයි කල්පනා කළා වූ ඔවුහු පොළොවෙහි මැවුම්කරු නුදුටුවෝ ය. පොළොවෙහි නැති බැවින් මැවුම්කරු අහසෙහි අන්ලොවක ඇතැයි ඔවුහු කල්පනා කළහ. මැවුම්කරු මෙබඳු කෙනකු විය යුතු ය යි ඔවුහු මැවුම්කරුගේ සැටි ද කල්පනා කළහ. ඔවුහු මැවුම්කරුට දේවබ්‍රහ්ම යන නම් තබා ගත්හ. සිත සමාධි කරගෙන ඉන්නා කල්හි නැති නොයෙක් රූප පෙනෙන ස්වභාවයක් ඇත්තේ ය. එසේ ඉන්නා කල්හි ඇතැමුන්ට ඔවුන් අදහස් කරන මැවුම්කරු පෙනිණ. එයින් මැවුම්කරුවකු ඇතය යන අදහස වඩාත් තහවුරු විය. මැවුම්කරු නො මැරෙන නො දිරන සෑම කල්හි දුකින් තොරව සැපයෙන් වෙසෙන්නෙකැයි ඔවුහු සිතූහ. මැවුම්කරු වෙසෙන ඒ ලෝකයට ගිය අයත් එසේ ම අජරාමර වන බව ඔවුහු කල්පනා කළහ. ඇතැම්හු කය තුළ ජාතියෙන් ජාතියට යන සියුම් ආත්මයක් ඇතය යි සලකති. මෙසේ ඇතය කියා අතැමුන් කල්පනා කරන නිත්යභාවයන් සුඛයන් සුන්දරත්වයන් හා ආත්මයන් පඤ්චස්කන්ධයෙහි නැත. ඉපද ඉපද බිඳි බිඳී යන ධර්මපරම්පරාවක් වූ පඤ්චස්කන්ධය නිත්යභාවාදියෙන් හිස් ය.
“පඤ්චක්ඛන්ධෙ රිත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ අරිත්තං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් නිත්යභාවාදියෙන් හිස්වූවන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප වූ විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හිස් නො වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.