දෙවිසිවන භාවනා පදය.
ස්කන්ධයෝ ශුන්‍යයෝ ය.
නාමරූප ධර්මයන් එකිනෙක වෙන් කර ගැනීමට හා ඒවායේ ලක්ෂණ දැන ගැනීමටත් නො සමත් පුද්ගලයෝ ස්කන්ධයන් සම්බන්ධයෙන් පවත්නා සම්මෝහය නිසා සත්‍ය වශයෙන් නො ලැබෙන අනේකාකාර ආත්මයන් පරිකල්පනය කොට ප්‍රකාශ කර ඇත්තේ ය. ඇතැමෙක් ඇස කන නාසය දිව සම යන දැනීමට උපකරණ වන ඉන්ද්රියයන් හා සිත ද ක්‍රියාවන්ට උපකරණ වන අත් පා ආදිය ද ඇතුළු සකල ශරීරාවයවයන්ට ස්වාමිව සිටින ආත්මයක් ඇතය යි කියති. ඇතැමෙක් චක්ෂුරාදි ඉන්ද්රියයන් කරණ කොට දර්ශනාදි ක්‍රියා කරන්නේ ආත්මයයි ද පවසති. ඇතැමෙක් සුවදුක් විඳින්නේ ආත්මයයි ද පවසති. ධර්මවිභාග නො දන්නා සාමාන්‍ය ජනයා සම්පූර්ණ පඤ්චස්කන්ධය ම ආත්ම වශයෙන් ද, රූපාදි ස්කන්ධ වෙන් වශයෙන් එකින් එක ද, ආත්මය යි සලකති. එසේ පරිකල්පනය කරන ලද වරදවා ගන්නා ලද ඒ ආත්ම එකකුත් ස්කන්ධයන්හි නැති බැවින් ස්කන්ධයෝ ශූන්‍යයෝ ය. අනේකප්‍රකාර ආත්මයන් ප්‍රකාශ කරන සැමදෙන ම ඒ ආත්මයන් ප්‍රකාශ කරන්නේ පඤ්චස්කන්ධයෙන් යම් කිසිවක් වරදවා තේරුම් ගෙන ය.
“පඤ්චක්ඛන්ධෙ සුඤ්ඤතෝ පස්සන්තො අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ පරමසුඤ්ඤං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් ශුන්‍ය වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය දුඃඛයෙන් සම්පූර්ණයෙන් ශුන්‍ය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.