අටවන භාවනා පදය.
අකීකරු බැවින් ස්කන්ධයෝ පරයෝ ය.
මම ය කියා, තමා ය කියා සලකන පඤ්චස්කන්ධය හැර සෙස්සෝ පරයෝ ය. තවත් ක්‍රමයකින් කියත හොත් මම ය කියා සලකන පඤ්චස්කන්ධය ද, අපේ අය ලෙස සලකන දූ දරු ආදීන් ද හැර සෙස්සෝ පරයෝ ය. තමා ද නො වන තමා හා සම්බන්ධයක් නැති තමා ගේ කැමැත්තේ සැටියට නො හැසිරෙන තමා ගේ කැමැත්ත පරිදි හැසිරවීමට නො පුළුවන් තමාට හිත නො වූ පුද්ගලයන් පරයෝ ය. මම ය කියා, තමා ය කියා සැලකිය යුත්තේ සැම කල්හි තමා ගේ කැමැත්ත අනුව පවතින, තමාගේ කැමැත්ත අනුව පවත්වා ගත හැකි තමාට හිත දෙයකි. යමක් තමා ගේ කැමැත්ත අනුව නො පවතිනවා නම් පැවැත්වීමට නො පුළුවන් නම් ඒ දෙය මම ලෙස තමා ලෙස සැලකීමට සුදුසු නැත. මාගේ අයය කියා සැලකිය යුත්තේ ද තමාගේ කැමැත්ත අනුව හැසිරෙන, හසුරුවා ගත හැකි තමාට හිත පුද්ගලයන් ය. පඤ්චස්කන්ධයෙහි ඇත්තේ මමය කියා පිළිගත යුතු දෙයක් හෝ මාගේ කෙනකැයි සැලකිය යුතු පුද්ගලයකු ගේ හෝ ලක්ෂණ ද, නැත හොත් පරයකු ගේ ලක්ෂණ දැයි විමසිය යුතු ය.
සැම දෙන ම ලස්සන වීමට ලස්සනට සිටීමට කැමැත්තෝ ය. එහෙත් මම ය, මාගේය යි සලකන මේ රූපය කර්මාදි හේතූන් අනුව ඇති වන සැටියකට ඇති වෙනවා මිස පුද්ගලයා ගේ ඕනෑකම අනුව ලස්සනට ඇති වන්නේ නො වේ. ලස්සනට පවතින්නේ නො වේ. ලස්සන වීමට ආශා කරන ඇතැම්හු ඉතා කැත ය. සාමාන්‍යයෙන් සැම දෙනා ගේ ම ශරීර කැත ය. මිනිසුන් ඇඳුම් අඳින්නේ අබරණ පළඳින්නේ ඒ කැත වසා ගැනීම පිණිස ය. පඤ්චස්කන්ධය සත්‍ය වශයෙන් ම මම වේ නම් එය තමා ගේ කැමැත්ත පරිදි පැවැත්විය හැකි විය යුතු ය. එසේ නො ව්නේ එය මම නොව පරයකු වන බැවිනි.
නිරෝගීව විසීමට හැම දෙන ම කැමැත්තෝ ය. ශරීරය පුද්ගලයා ගේ අදහසට අනුව නිරෝගීව නොසිට නොයෙක්විට රෝගාතුර වන්නේ ය. ශරීරය දුබල නො වී ශක්තිමත් ව තිබෙනවාට සැම දෙනා ම කැමැත්තෝ ය. එහෙත් පුද්ගලයා ගේ කැමැත්ත පරිදි නො පැවතී, එය දුබල වන්නේ ය. ශරීරය තරුණ භාවයෙන් තබා ගැනීමට සැම දෙන ම කැමැත්තෝ ය. එහෙත් පුද්ගලයන් ගේ කැමැත්ත පරිදි එය නො පවත්නේ ය. දිනෙන් දින ම දිරන්නේ ය. කළුවට තුබූ හිසකේ සුදු වෙයි. පැහැපත් ව තුබූ සම රැලි ගැසී කොරල පිපී සුදු කළු ලප ඇති වී කැත වෙයි, ඉන්ද්රියයෝ දුබල වෙති. එකින් එක දත් ගැලවෙන්නට පටන් ගනී. දුබල වී සැරමිටියේ පිහිට සොයන්නට සිදු වේ. ශරීරය පවිත්‍ර ව තිබෙනවාට සැම දෙන ම කැමති ය. එහෙත් එය නිතර ම ඩහදිය මළ මුත්රාදියෙන් අපවිත්‍ර වේ. සුඛයට සොම්නසට සැමදෙන ම කැමැත්තෝ ය. එහෙත් ඒ කැමතිවන සුඛය සොම්නස ඔවුනට රිසි සේ නො ලබා ගත හැකි ය. ලැබුව ද පවත්වා ගත නො හැකි ය. දුකට දොම්නසට සත්ත්වයෝ නො කැමැත්තෝ ය. එහෙත් ඒ නො කැමති දුක හා දොම්නස ඔවුන් කරා නිතර එන්නේ ය. සත්ත්වයෝ ජීවත්වීමට කැමැත්තෝ ය. මරණයට නො කැමැත්තෝ ය. ස්කන්ධයෝ කැමැත්ත පරිදි ජීවත් නො වී නො කැමති තත්ත්වය වූ මරණයට පැමිණෙති. මෙසේ මම ය මාගේ ය යි සලකන පඤ්චස්කන්ධය තමා ගේ කැමැත්තේ සැටියට නො පවත්නා බැවින් නො කැමති පරිදි ම පවත්නා බැවින් ඒ පඤ්චස්කන්ධය තමා හෝ තමා අයත් දෙයක් හෝ නො වන බැවින් පරයෙකි, අනිකෙකි. මම ය මාගේ ය යි සලකන මේ පඤ්චස්කන්ධය සත්ත්වයාට සැපයක්, වාසියක් ඇති කර දෙන, තමන් ගේ එකෙක් නො වේ. මිතුරෙක් නො වේ. සැපය වුවමනා නම් එය මහන්සි වී ලබාගත යුතු ය. පඤ්චස්කන්ධයෙන් නිකම් ම සැපයක් නැඟ එන්නේ නො වේ. පඤ්චස්කන්ධය විශේෂයෙන් රූපස්කන්ධය සත්ත්වයනට දුක් කරදර ඇති කරන සතුරෙකි. සත්ත්වයාහට රූපස්කන්ධයෙන් නිතර ම ඇති කර දෙන්නේ දුක් ය, රිදුම් ය. නිකම් ම ඉන්නා කල්හි හිසෙහි රිදුම් ඇති වේ. කන්වල, දත්වල, තොල්වල, විදුරුමස්වල රිදුම් ඇති වේ. උගුරෙහි, පපුවෙහි, බඩෙහි, තුනටියෙහි, පිටෙහි, කසළ මඟෙහි, අණ්ඩකෝෂයෙහි රිදුම් ඇති වේ. නොයෙක් තැන්වල ඇට, මස්, නහරවල රිදුම් ඇති වේ. බඩගිනි වේදනා පිපාසා වේදනා ඇති වේ. නොයෙක් කරුණුවලින් අපමණ දෝමනස්ස වේදනා ඇති වේ. මේ සියල්ල සත්ත්වයනට පඤ්චස්කන්ධයෙන් ඇති කර දෙන දුක් වේදනා ය. මේ දුක් වළක්වා ගැනීම සඳහාත්, ශරීරය පවත්වා ගැනීම සඳහාත් ආහාරපාන, බෙහෙත් සැපයීමට බොහෝ වෙහෙසිය යුතුය. වස්ත්‍ර සැපයීමට බොහෝ වෙහෙසිය යුතු ය. ගෙවල් තනා ගැනීමට බොහෝ වෙහෙසිය යුතු ය. අඹුදරුවන් පෝෂණය කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. ඒ කරදර සියල්ල ඇතිකර දෙන්නේත් පඤ්චස්කන්ධය ය. කරුණු මෙසේ හෙයින් ස්කන්ධයෝ තමා හෝ තමා ගේ අය නො වන පරයෝ යයි දත යුතු ය.
“පඤ්චක්ඛන්ධෙ පරතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපරපච්චයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පස්දෙනකුන් වූ ස්කන්ධයන් පරයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාදනිරෝධය පරප්‍රත්‍යය රහිත නිර්වාණය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.