22. විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ පිහිට සෙවීමෙන් සරණ ශීලය බිඳී බෞද්ධත්වය නැති වේ ද?

ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි සරණගමන දෙකක් ඇත්තේ ය. ලෝකෝත්තර සරණගමනය ඇත්තේ චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍ර‍ත්‍යක්ෂ කළ සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන ආර්‍ය්‍ය පුද්ගලයන්ට ය. එය කවදාවත් කිළිටි වන්නේත් නැත. බිඳෙන්නේත් නැත. එය මරණින් ඔබ්බෙහි ද නො වෙනස්ව පවතින්නේ ය. ආර්‍ය්‍ය පුද්ගලයකු කාලක්‍රියා කොට අන් භවයක උපන් කල්හි ද ඔහු ගේ සරණ ගමනය එසේම ඇත්තේ ය. පෘථග්ජන පුද්ගලයන් ගේ සරණ ගමනය ලෞකික ය. එහි කිලිටිවීමත් බිඳීමත් ඇත්තේ ය.

“ලොකිය සරණ ගමනං තීසු වත්ථුසු අඤ්ඤාණ සංසය මිච්ඡාඤාණාදීහි සංකිලිස්සති” යි ලෞකික සරණගමනය බුද්ධාදි රත්නත්‍ර‍ය කෙරෙහි නො දැනීම ය, සැකය, වැරදි දැනුමය යනාදි කරුණුවලින් කිලිටි වන බව භයභේරව සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ. බුදුන් සරණ යෙමි යනාදීන් කීවත් බොහෝ දෙනා ගේ සරණ ගමනය කිලිටි වන්නේ බුදුන් වහන්සේ සර්‍වඥ ද? නැත ද? අසවල් කරුණ බුදුනට නො පෙනුනේ මන් ද? රත්නත්‍රයෙන් පිහිටක් ඇත ද? නැත ද? යනාදීන් පහළ වන සැකවලිනි.

ආගම් ඇදහීමෙන් වැඩක් නැත කියා රත්නත්‍ර‍ය අතහැර දැමීමෙන් ද දේව බ්‍ර‍හ්මාදි අනිකකු තමා ගේ ගැලවුම්කාරයා ලෙස පිළිගැනීමෙන් ද මරණයෙන් ද ලෞකික සරණගමනය බිඳේ. එය ලෝකෝත්තර සරණ ගමනය සේ භවාන්තරයට නො යන්නේ ය. රත්නත්‍ර‍ය සරණ ගිය තැනැත්තා විසින් එයින් බලාපොරොත්තු විය යුත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්‍මය අනුව පිළිපැද අපායෙන් මිදීමත් සගමොක් සැප ලැබීමත් ය. තවත් ක්‍ර‍මයකින් කියතහොත් ජාති ජරා මරණාදි දුක් කෙළවර කිරීම ය. ආහාර පාන සපයා ගැනීම, ඇඳුම් - පැළඳුම් සපයා ගැනීම, ගෙවල්-දොරවල් යාන වාහන සපයා ගැනීම, පුරුෂයන්ට භාර්‍ය්‍යාවන් සොයා ගැනීම, ස්ත්‍රීන්ට ස්වාමිපුරුෂයන් සොයා ගැනීම, දරුවන් නැති අයට දරුවන් ලබා ගැනීම, නැති වූ අය සොයා ගැනීම, නැති වූ බඩු සොයා ගැනීම, රෝග සුවකර ගැනීම, ග්‍ර‍හ අපල දුරු කර ගැනීම, සතුරු උවදුරු නැතිකර ගැනීම, අමනුෂ්‍ය භය - ඇස්වහ - කටවහ දෝෂ නැති කර ගැනීම, සූනියම් දෝෂ නැති කර ගැනීම, විභාගවලින් සමර්‍ථවීම යනාදි මනුෂ්‍යයන් විසින් බලාපොරොත්තු වන නොයෙක් කරුණු රත්නත්‍රයෙන් සිදු කර ගත නො හැකි ය. ඒවාට අන් පිහිටවල් සොයා ගත යුතු ය. ඒ උවමනා ඉටු කර ගැනීමට දෙවියකුගෙන් හෝ මිනිසකුගෙන් හෝ යකකුගෙන් හෝ තිරිසනකුගෙන් හෝ කාගෙන් හෝ පිහිට ලැබිය හැකි නම් ලබා ගත්තාට සරණගමනය කිලිටි වීමක් හෝ බිඳීමක් නො වන්නේ ය. ආහාරපාන සොයා ගැනීම් ආදි සෑම කරුණකට ම රත්නත්‍රයේ පිහිට සොයන්න යාම අනුවණ කමෙකි.

බෞද්ධයන් විෂ්ණු කතරගම ආදි දෙවිවරුන්ගෙන් බලාපොරොත්තු වන්නේ රෝග සුවකර ගැනීම්, අපල දුරු කර ගැනීම්, නඩු හබවලින් නිදහස් වීම් ආදි කරුණු ය. ඒ දෙවිවරුන්ට පුද පූජා පවත්වා ඔවුන්ගෙන් ඒවාට උපකාර ලබා ගැනීම වෙදමහතකුට නීතිඥයකුට දෛවඥයකුට ආණ්ඩුවේ නිලධාරියකුට තෑගි බෝග පිරිනමා යම් කිසි උපකාරයක් ලැබීම වැනි කරුණකි. දෙවියන් සතුටු කොට දෙවියන්ගෙන් එබඳු උපකාරයක් ලැබීම වරදක් නම් රත්නත්‍රයේ පිහිට ම නො සොයා මිනිසකුගෙන් උපකාරයක් ලැබීමත් වරදක් විය යුතු ය. දේව පූජාවට විරුද්ධ දෙවියන්ගෙන් පිහිට හෙවත් උපකාර ඉල්ලීමට විරුද්ධ අය මිනිසුන් ගේ පිහිට හෙවත් උපකාර සොයනවාට විරුද්ධ නො වෙති.

බෞද්ධයා විසින් සෑමදෙයකට ම රත්නත්‍රයේ පිහිට ම සෙවිය යුතු නම් වෙදමහතුන් ගේ නැකත් කරුවන් ගේ නීතිඥයන්ගේ පිහිට සෙවීම, පොලීසියේ පිහිට සෙවීම නො කළ යුතු වන්නේ ය. රෝග භය අමනුෂ්‍ය භය ආදිය දුරු කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේ විසින් පිරිත් දේශනය කර ඇත්තේ ය. එහෙත් බෞද්ධයන් විසින් පිරිතෙන් ම ඒවා කරගත යුතුය කියා උන් වහන්සේ ගේ නියමයක් නැත්තේ ය. භික්ෂූන් වහන්සේට විනයෙහි බෙහෙත් අනුදැන වදාරා ඇත්තේ පිරිතෙන් ම රෝග සුවකර ගත යුතුය කියා නියමයක් නැති නිසා ය. අමනුෂ්‍ය භය දුරුකර ගැනීමත් පිරිතෙන් ම කළ යුතුය කියා තථාගතයන් වහන්සේ ගේ නියමයක් නැත.

තථාගතයන් වහන්සේ ජීවමාන කාලයේ දී එක් භික්ෂුවකට අමනුෂ්‍යාබාධයක් හටගත්තේ ය. ආචාර්ය්‍යෝපාධ්‍යායයන්ට ඒ භික්ෂුව ගේ රෝගය සුව නො කළ හැකි විය. ඒ භික්ෂු තෙමේ ඌරන් මරණ තැනකට ගොස් අමු ඌරු මස් කා ඌරු ලේ බීවේ ය. රෝගය එයින් සුව විය. ඒ කාරණය භික්ෂූහු සර්වඥයන් වහන්සේට සැල කළහ. එකල්හි උන් වහන්සේ “මහණෙනි, අමනුෂ්‍ය උවදුරු දුරු කර ගැනීමට මා විසින් වදාළ පිරිත් ඇත්තේ ය. තෙපි ඒවායින් අමනුෂ්‍ය උපද්‍ර‍වයන් දුරු කර ගනිව්ය”යි නො වදාළ සේක. “අනුජානාමි භික්ඛවෙ, අමනුස්සිකාබාධෙ ආමක මංසං ආමක ලොහිතං” යි වදාරා ඒ භික්ෂුව කළ දෙය ම ස්ථිර කළ සේක.

“පුන ච පරං මහානාම කුලපුත්තො උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරු කරොති මානෙති පූජෙති තමෙනං බලිපටිග්ගාහිතා දෙවතා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මායුං පාලෙහීති. දෙවතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධි යෙව පාටිකංඛා නො පරිහානි”

යනුවෙන් “මහානාමය, කුලපුත්‍ර‍ තෙමේ දෑතේ වීර්‍ය්‍යයෙන් දහඩිය වගුරුවා මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් පූජා පිළිගන්නා දේවතාවන්ට සත්කාර කෙරේ ද, ගරු කෙරේ ද, සිතින් ආදර කෙරේ ද, පූජා කෙරේ ද; එසේ පූජා සත්කාර කරන ලද්දා වූ ගරු කරන ලද්දා වූ ඒ දේවතාවෝ ඒ කුලපුත්‍ර‍යා හට යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවා යි අනුකම්පා කරන්නාහ. මහානාමය, දේවතානුකම්පාව ලබන්නා වූ කුලපුත්‍ර‍යා හට දියුණුවක් ම වන්නේ ය. පිරිහීමක් නො වන්නේය”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. මේ දේශනාවෙන් දෙවියන් පිදීම තථාගතයන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බව පෙනේ. ඉදින් දෙවියන් පිදීම වරදක් නම්, බෞද්ධයන් විසින් නො කළ යුත්තක් නම්, තථාගතයන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ.

ඇතැම්හු දෙවියන්ට පූජා වශයෙන් කළ යුත්තේ “පින්දීම පමණක්ය, මල් පහන් සුවඳ ආහාරාපාන නො පිදිය යුතුය”යි කියති. ඉහත දැක්වූ බුද්ධ දේශනයෙහි දැක්වෙන්නේ නම් පින්දීමක් නොව ඩහදිය මහන්සියෙන් සපයා ගත් වස්තුවෙන් දෙවියන් පිදීමෙකි. පින් දීමෙන් දෙවියන් ගේ පිහිට සෙව්වත් වැඳුම් පිදුම් කිරීමෙන් පිහිට සෙව්වත් පිහිට සෙවීමෙහි වෙනසක් නැත. දෙවියන් ගේ පිහිට සෙවීම වරදක් නම් කෙසේ සෙව්වත් එය වරදක් ම ය. යමකුට දෙවියකුගෙන් පිහිටක් ලබා ගත හැකි නම්, පින් දීමෙන් හෝ වේවා මල් පහන් ආදිය පිදීමෙන් හෝ වේවා ලබා ගත්තාට එයින් සරණගමනයට බෞද්ධත්වයට වන හානියක් නැති බව දත යුතු ය.

අබෞද්ධ දේවභක්තිකයෝ “දෙවියෝ ලෝකයේ ශ්‍රේෂ්ඨයෝ ය. මිනිසා ගේ ගැලවුම්කාරයෝය”යි සලකා දෙවියන් පුදති. සරණගමනයට හානි වන්නේ එසේ දෙවියන් පිදීමෙනි.