උද්දේශික චෛත්‍යය සැටියට සැලකිය යුත්තේ බුදු රුව පමණක් නො වේ. ශාරීරික පාරිභෝගික වස්තු නැතුව තැනූ ස්තූපයටත් වැඳුම් පිදුම් කළ බවත් ඒ පිනෙන් බොහෝ දෙවි මිනිස් සැප ලබා අන්තිමේදී සියලු කෙලෙසුන් නසා රහත් වූ බවත් සෝවණ්ණ කිංකිණිය ථෙරාපදානයෙන් ද, පුලිනුප්පාදකථෙරාපදානයෙන් ද, පුලිනථූපියත්ථෙරාපදානයෙන් ද පෙනේ.
හිමාලය වනයට නුදුරු තැනක පිහිටි ‘යමක’ නම් වූ පර්වතයෙහි පන්සලක නාරද නම් තවුසෙක් විය. ඔහුට තුදුස් දහසක් ශිෂ්‍යයෝ වූහ. එක් දවසක් ඒ තවුස් තෙමේ සිතනුයේ හැම දෙනා ම මා හට වැඳුම් පිදුම් කරන්නාහ. අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වෙසෙනවා මිස මම කිසිවකුට වැඳුම් පිදුම් නො කරමි. මට අවවාද කරන්නෙක් නැත්තේ ය. ගරු කළ යුතු කෙනකු නැතිව මාගේ මේ වන වාසය නිරර්ථකය, මා විසින් ගරු කළ යුත්තෙක් සොයාගත යුතුය යි සිතා, එබඳු පුද්ගලයකු නො ලැබ සමීපයෙහි තිබෙන ‘අමරික’ නම් ගඟට බැස එයින් වැලි ගෙන ස්තූපයක් කොට අතීතයෙහි විසූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා ගේ ස්තූප මෙවැනිය යි සලකා සමීපයෙහි වැඩ වෙසෙන බුදු කෙනකුන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් ඒ වැලි සෑයට වැඳුම් පිදුම් කළේ ය. එතුමා ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙව් මිනිස් සැප විඳ අන්තිම ජාතියෙහි සැවැත් නුවර ධනවත් පවුලක ඉපද පැවිදිව සත් අවුරුදු වයසේදී ම රහත් විය. මේ පුලිනථූපිය තෙරුන් වහන්සේ ගේ කථාව ය. තවුසකුව විසූ කාලයේ දී උන් වහන්සේ වැඳුම් පිදුම් කළ වැලි ගොඩ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බැවින් අවස්තුක ය. කිසි පූජනීය වස්තුවක් නැත්තා වූ ඒ වැලි ගොඩ චෛත්‍යයක් හෙවත් පූජනීය වස්තුවක් වූයේ ඒ තාපස තුමා ගේ සිතෙහි හටගත් ගෞරවාදරය නිසා ය. තාපස තුමා ගේ ගෞරවාදරය නො වී නම් එය නිකම්ම වැලි ගොඩකි. “උද්දිස්සකං අවත්ථුකං මමායනමත්තමෙව හොති” යන දේශනාවෙන් දැක්වෙන්නේ ඒ කාරණය ය.
තාපස තුමා රැස් කළ වැලි ගොඩ ශාරීරික පාරිභෝගික වස්තූන්ගෙන් තොර බැවින් අවස්තුක වන්නේ ය. එතුමා ගේ ගෞරවාදරය නිසා චෛත්‍යයක් වන්නේ ය. ගෞරවාදරය ඇති කල්හි නිකම් ම වැලි ගොඩ උද්දේශික චෛත්‍යයක් වන්නේ නම්, එයට වැඳුම් පිදුම් කිරීමෙන් නිවන් දැකීමට හේතු වන පිනක් අත්පත් වේ නම්, බොහෝ ජනයා ගේ ගෞරවාදරයට භාජන වන බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් නො වීමටත් එයට වැඳුම් පිදුම් කිරීමෙන් පින් සිදු නො වීමටත් කරුණක් නැති බව නුවණැති කාහට වුවත් තේරුම් යන කරුණෙකි.