“දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර ගත් හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්ත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූහ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍රම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.