තමාගෙන් අන්‍ය වූ සත්ත්වයකු ගේ ජීවිතය නැසීමෙන් මිස සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. බුදුරජාණන් වහන්සේ විනයෙහි තිරිසන් සතුන් මැරීම ගැන භික්ෂූන්ට පනවා තිබෙන්නේ “යො පන භික්ඛු සංචිච්ච පාණං ජීවිතා චොරොපෙය්‍ය පාචිත්තියං” යන සිකපදය ය. ‘දැන දැන තිරිසන් සතකු මැරුව හොත් පචිති ඇවතක් වේය’ යනු එහි තේරුම ය. මනුෂ්‍ය ඝාතනය මහා පාපයෙකි. එබැවින් එය ගැන විනයෙහි පනවා ඇත්තේ පරිජි ඇවතකි. යම් කිසි භික්ෂුවක් විසින් මිනිසකු මැරුව හොත් පාරාජිකා වේ.
ආත්මඝාතනය ගැන විනයෙහි පනවා ඇත්තේ “න ච භික්ඛවෙ, අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්ය, ආපත්ති දුක්කටස්ස” යන සිකපදය ය. එහි තේරුම, “මහණෙනි! ආත්මය නො නැසිය යුතු ය. යමෙක් සිය දිවි නසා ගන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේය” යනුයි. දුකුළා ඇවත පචිති ඇවතට ද කුඩා ඇවතකි. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය සිදු වේ නම්, තථාගතයන් වහන්සේ එයින් ද පාරාජිකා වන බව වදාරන්නාහ. සිය දිවි නසා ගැනීම ගැන පනවා ඇත්තේ තිරිසනුන් මැරීමෙන් වන ඇවතට ද කුඩා ඇවතකි. එයින් තේරුම් ගන්නට ඇත්තේ එය ප්‍රාණඝාත කර්මයක් නො වන බව හා තිරිසන් සතකු මැරීමෙන් වන පාපය තරම් බරපතළ පවකුත් නො වන බව ය. සියදිවි හානි කර ගැනීම ගැන දුකුළා ඇවතක් පනවා ඇතත් එය කර ගැනීමට සුදුසු අවස්ථා ඇති බවත් විනය අටුවාවෙහි දක්වා තිබේ.
“යස්ස පන මහා ආබාධො චිරානුබද්ධො, භික්ඛු උපට්ඨහන්තා කිලමන්ති, ජිගුච්ඡන්ති, කදා නු ඛො ගිලානතො මුඤ්චිස්සාමාති අට්ඨියන්ති. සචෙ සො අයං අත්තභාවො පටිජග්ගියමානොපි න තිට්ඨති භික්ඛු ච කිලමන්තීති ආහාරං උපච්ඡින්දති, භෙසජ්ජං න සෙවති වට්ටති. අයං රොගො ඛරො ආයුසංඛාරා න තිට්ඨති. අයඤ්ච මෙ විසෙසාධිගමො හත්ථප්පත්තො විය දිස්සතීති උපච්ඡින්දති වට්ටති. අගිලානස්සා පි උප්පන්නසංවෙගස්ස ආහාර පරියෙසනං නාම පපඤ්චො, කම්මට්ඨාන මෙව අනුයුඤ්ජිස්සාමී ති කම්මට්ඨානසීසෙන උපච්ඡින්දන්තස්ස වට්ටති.”
(සමන්තපාසාදිකා 334)
මේ පාඨයේ අදහස; “බොහෝ කල් පවත්නා වූ මහා ආබාධයක් ඇති භික්ෂුවකට උපස්ථාන කරන භික්ෂූන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම්, රෝගියාත් පිළිකුල් නම්, ඒ රෝගී භික්ෂුව ‘මේ ආත්ම භාවය ප්‍රතිකර්ම කළත් නො පැවැත්විය හැකි ය. මා නිසා සෙසු භික්ෂූහු ද බොහෝ වෙහෙසෙතියි සලකා බෙහෙත් ආහාර වර්ජනය කරනවා නම් වටනේය. යම් භික්ෂුවක් මට ඇතිවී ඇති මේ රෝගය නපුරු ය. මට විශේෂාධිගමයක් ද අතට පත්වූවාක් සේ පෙනෙන්නේ ය. මම ශරීර පෝෂණය හැර විශේෂාධිගමය පිණිස ද වීර්‍ය්‍ය කරමි යි ආහාර අතහරී නම් වටනේය. රෝගයක් නැති භික්ෂුවක් විසින් තමාට උපන් සංවේගය නිසා ආහාර සෙවීමත් ප්‍රමාදයක් ය, මම භාවනාව ම කරමි යි, භාවනා පිණිස ආහාර ගැනීම අත හරී නම් එය ද වටීය” යනුයි. මේ පාඨයෙහි ‘වට්ටති’ යන වචනයෙන් කියන්නේ ඇවැත් නො වන බව ය. සියදිවි නසා ගැනීමෙන් ප්‍රාණඝාත අකුශල කර්මය වේ නම් කිනම් කරුණක් නිසාවත් එය නො වන්නේ ය. කියන ලද කරුණුවල දී ආහාරෝපච්ඡේදය වටනා බව විනය අටුවාවෙහි කියා තිබීමෙන් ද එය ප්‍රාණඝාත කර්මයට අයත් නො වන බව දත යුතු ය.