මහාබෝධිය තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්තුවකැයි කීවත් එය පාරිභෝගික වස්තුවක් වූයේ තථාගතයන් වහන්සේ ඒ ගස සෙවනෙහි සතියක් වැඩ සිටීමෙන් පමණෙකි. ජේතවනාරාමයේ ගඳ කිළිය උන්වහන්සේ නිතර පරිභෝග කරන තැනකි. දම්සභා මණ්ඩපයෙහි අසුන නිතර පරිභෝග කරන වස්තුවකි. උන්වහන්සේ නිතර පරිභෝග කරන තවත් වස්තු එහි නැත්තේ නො වේ. මහාබෝධිය පාරිභෝගික වස්තුවක් වුවත් එයින් ඇට ගෙන පැළ කරගන්නා බෝධිවලට ඇත්තේ තථාගතයන් වහන්සේ හා ඉතා සුළු සම්බන්ධයෙකි. වඩා පරිභෝගයට පැමිණි වස්තූන් තිබිය දී පූජනීය වස්තුවක් ලෙස බෝධියක් පිහිටවීමේ තේරුම කල්පනා කළ යුත්තකි. මේ ප්‍රශ්නයට පිළිතුරු කිසි ම බණ පොතක සඳහන් වී නැත. මේ ගැන අප අදහස් මෙසේ ය.
ඇඳ පුටු ආදි පරිභෝග භාණ්ඩයකට වඩා මහජනයා ගේ සිත් ඇද ගන්නා පෙනුමක් බෝධි වෘක්ෂයෙහි ඇත්තේ ය. එයත් බෝධියක් පිහිටවීමේ එක් කරුණක් සැටියට සැලකිය හැකි ය. භූතයන් වෙසෙන මහගස් වලට වැඳුම් පිදුම් කිරීමේ සිරිත බුදුන් වහන්සේ පහළ වන්නට පෙර පටන් දඹදිව වැසියන් අතර පැවැත්තේ ය. ඔවුනට වෘක්ෂවලට පුද පූජා පැවැත්වීම පුරුදු ය. හුරු ය. ඒ නිසා ඔවුන් බුදුන් වහන්සේ උදෙසා කරන පූජාව බෝධිවෘක්ෂයට කිරීමට වඩාත් කැමති විය හැකිය. එයත් බෝධි රෝපණය කිරීමට අදහස් කිරීමේ එක් හේතුවක් විය හැකි ය. අනිකුත් පරිභෝග භාණ්ඩයන් මෙන් බෝධිවෘක්ෂය ගින්නෙන් දියෙන් විනාශ වන්නේ ද නො වේ. සොරුන් ගෙන යන්නේ ද නො වේ. එය ආරක්ෂාවක් නැති වුව ද බොහෝ කල් පවත්නේ ය. එයත් ජේතවන විහාරයෙහි බෝධියක් රෝපණය කිරීමට අදහස් කිරීමේ හේතුවක් විය හැකි ය. බුද්ධාගම ලොව ව්‍යාප්ත වූ කල්හි සැම දෙනාට ම වැඳුම් පිදුම් කිරීමට ශාරීරික ධාතු ලබා ගත නො හැකි ය. බුදුන් වහන්සේ පරිභෝග කළ අන් වස්තු ලබා ගැනීමට ද පහසු විය නො හැකි ය. බෝධිවෘක්ෂ වුවමනා තරම් ලෙහෙසියෙන් සපයා ගත හැකි ය. අනාගතයෙහි ලෙහෙසියෙන් සපයා ගත හැකි බෝධිවෘක්ෂවලට වැඳුම් පිදුම් කිරීම මහ ජනයාට පුරුදු කරවීමට ද ජේතවන විහාරයේ බෝධි රෝපණය කළා විය හැකි ය.