නිකම්ම කරන ප්‍රාර්ථනාවල් සිදු වෙත හොත් ලොව හැම දෙනාට ම ලෙහෙසියෙන් ම සුඛිත විය හැකි ය. ලෝකයේ දුඃඛිතයෝ ඉතිරි නො වන්නාහ. නිකම් ප්‍රාර්‍ථනා කළාට යම් කිසිවක් සිදු වන්නේ නො වේ. නිකම්ම යම් යම් දේ අනාගතයෙහි ලබේවා යි පැතීම මුදල් නැතිව බඩු ගන්නට සිතීම වැනි මෝඩ වැඩකි. අනාගතයෙහි යම් කිසිවක් ලැබීමට පතනවා නම් එය කළ යුත්තේ එය ලැබීමට හෝ සිදුවීමට සෑහෙන පිනක් කොටය. පෙම්වතුන්ට ද සෑහෙන පින්කම් කොට “මේ පින් බලයෙන් අපට අනාගත භවයන්හි එක්ව සුවසේ වාසය කරන්නට ලැබේවා” යි පැතුව හොත් එය සිදුවිය හැකි ය. පින් කොට කරන පැතුම් වුව ද නො වැරදී ම සිදුවනවාය යන නියමයක් නැත. සමහර විට එයත් සිදු නොවී යා හැකි ය. “ඉජ්ඣති භික්ඛවෙ සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”යි තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබෙන්නේ සිල්වතුන් ගේ ප්‍රාර්ථනා සිදු වන බව ය. “තඤ්ච ඛො සීලවතො වදාමි නො තථා දුස්සීලෙ” යි ඒ ප්‍රාර්ථනා සිද්ධිය දුශ්ශීලයන් ගැන කියන්නක් නොව සිල්වතුන් ගැන ම කියන්නක් බව ද වදාරා ඇත්තේ ය. ඇතැම් පෙම්වතුන් දිවි නසා ගැනීමේ දී කිසිම පිනක් නො කොට අනාගතයේ එක්ව විසීමට කරන ප්‍රාර්ථනාව කිසි කලෙක සිදුවිය නොහෙන මෝඩ ප්‍රාර්ථනාවෙකි. පිනක් කොට එසේ කරන ප්‍රාර්ථනාව වුව ද නො වරදවා සිදුවීමට නම් සිල්වත්ව වාසය කළ යුතු ය. සිල්වත්ව විසීමය කියන්නේ ප්‍රාණඝාතාදි දුශ්චරිත පසින් වැළකී සිටීම ය. ඒවායින් කවරක් හෝ කරනවා නම් ඒ තැනැත්තා දුශ්ශීලයා ය. ඒ පව්කම්වලින් ඔහුට අපායට යන්නට සිදු වුව හොත් ප්‍රාර්ථනාව සිදු වන්නට ඉඩ නො ලැබේ. පින් කොට වුව ද කරන දුශ්ශීලයන් ගේ ප්‍රාර්ථනා සිද්ධිය අනියත වන්නේ එහෙයිනි. මතු ජාතිවල එක්ව විසීමේ ප්‍රාර්ථනාව නො වරදවා ම ඉටු කර ගන්නට නම් පින් කොට එසේ පතා පවින් වැළකෙමින් සිල්වත්ව විසිය යුතු ය.
නවකතා කරුවන් විසින් කිවීන් විසින් දිව්‍යමය ගුණයක් කොට වර්ණනා කරන්නා වූ ද, තවත් බොහෝ දෙනකුන් විසින් උසස් ගුණයක් කොට සලකන්නා වූ ද ප්‍රේමය බුදු දහමේ දැක්වෙන සැටියට නම් සත්ත්වයා සුගතියට පමුණුවන පිනක් නොව අවිද්‍යාව හෙවත් මෝඩකම වැඩි වැඩි තරමට වඩ වඩා තියුණුව වඩ වඩා මහත්ව ඇති වන ක්ලේශයෙකි. අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් අවිද්‍යාව තව දුරටත් වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩීම නිසා ප්‍රේමය ද තව දුරටත් වැඩෙන්නේ ය. මෙසේ වැඩීම ඒ කෙලෙස් වල සැටියකි. ප්‍රේමය නමැති මේ ක්ලේශය බුදු දහමෙහි බොහෝ තැන්වල දැක්වෙන්නේ රාගය යන නාමයෙනි.
තරුණ තරුණියන් විසින් ඉමහත් මිහිරක් වශයෙන් සලකන මේ රාගය මිහිරක් නොව සත්ත්ව සන්තානය දවන ගින්නකි. එබැවින් තථාගතයන් වහන්සේ “රාගග්ගි දහති මච්චේ රත්තේ කාමෙසු මුච්ඡතෙ” යනුවෙන් රාග නමැති ගින්නෙන් කාමයන්හි ඇලුණු මුළා වූ සත්ත්වයෝ දවනු ලබන්නාහු යි වදාළ සේක. ඇතැම් තරුණ තරුණියන් අපට මතු සංසාරයේ දී වත් එක්ව වාසය කරන්නට ලැබේවා යි පතා, ගඟට මුහුදට පනින්නේ - ඇසිඩ් බොන්නේ රාගයේ දැවීම ඉවසිය නොහෙන තරමට බලවත් වූ විටය. රාගය පුද්ගල සන්තානය දවන ක්ලේශයකි. එහි දවන ස්වභාවය දැනෙන්නට වන්නේ එය බලවත් වූ විටය. සත්ත්වයනට ඉෂ්ටවිපාක ඇති වන්නේ චිත්ත සන්තානය පිනවන අලෝභ මෛත්‍රී ශ්‍රද්ධා ප්‍රඥාදි ධර්‍මයන්ගෙනි. චිත්ත සන්තානය දවන රාග ද්වේෂාදීන්ගෙන් අනාගතයෙහි ඇති කරන්නේ ද අනිෂ්ඨ විපාකයෙකි. අකුශල්ය කියනුයේ අනිෂ්ට විපාක ඇති කරන ධර්මයන්ට ය. දවන ස්වභාවය ඇතියක් බැවින් රාගය ද අනාගතයෙහි අනිෂ්ට විපාක ඇති කරන පාප ධර්මයෙකි. මරණාසන්නයේ දී එය බල පැවැත්වුව හොත් ප්‍රේත ලෝකයෙහි ඉපදිය හැකි ය.
රාගය විශේෂයෙන් ප්‍රේතව ඉපදීමටත් ද්වේෂය නරකයෙහි ඉපදීමටත් මෝහය තිරිසන් යෝනියෙහි ඉපදීමටත් හේතු වන බව දහම් පොත්වල කියා ඇත්තේ ය. මෙලොව සිය අදහස් පරිදි එක්ව විසීමට ඉඩ නො ලැබීමෙන් මතු ජාතියේ දී එක් වන්නට බලාපොරොත්තුවෙන් දිවි නසා ගන්නා තරුණ තරුණියන් ගේ සන්තානවල මරණාසන්නයේ දී අන්‍යොන්‍ය ප්‍රේමය හෙවත් රාගය හෝ මතු වී පවතී. නැතහොත් බලාපොරොත්තු ඉටු කර ගන්නට නො ලැබීමෙන් වන කෝපය හෝ මතු වී සිටී. නැතහොත් මෝහය මතු වී සිටී. ඒ අවස්ථාවෙහි දී දෙදෙනා කෙරෙහි ම සමානව රාගය මතු වී සිටිය හොත් ඔවුනට සමහර විට ප්‍රේතලෝකයේ එක්ව විසිය හැකි වනු ඇත. එකකු ගේ සන්තානයෙහි රාගයත් අනිකා ගේ සන්තානයෙහි ද්වේෂයත් නැඟ සිටිය හොත් දෙදෙනාට දෙපලකට යන්නට සිදු විය හැකි ය. දුර්ගතියෙහි වුව ද දිවි නසා ගන්නා යුවළකට එක් වන්නට ලැබෙනවා නම් එය කලාතුරකින් සිදුවන කරුණකි. එබැවින් මතු එක්ව කම් සැප විඳීමේ බලාපොරොත්තුවෙන් දිවි නසා ගැනීම මෝඩකම්වලින් ලොකු ම මෝඩකමක් බව කිය යුතු ය.