සත්ත්වයකු ගේ උත්පත්තියට කර්මයක් වුවමනා වන්නාක් මෙන් සැම කල්හි ම මරණයට කර්මයක් වුවමනා නැත. සමහරවිට සත්ත්වයෝ කර්මයන් නිසා ද මැරෙති. කර්මය හැර තවත් නොයෙක් හේතුවලින් ද සත්ත්වයෝ මැරෙති. සමහර සත්ත්වයෝ ආයුෂය ගෙවීමෙන් මැරෙති. සමහර සත්ත්වයෝ උත්පත්තියට හේතු වූ කර්ම ශක්තිය ගෙවීමෙන් මැරෙති. සමහර සත්ත්වයෝ ආයුඃකර්ම දෙක එකවිට ගෙවීමෙන් මැරෙති.
ඒ ඒ සත්ත්ව ජාතිවලට අයත් සත්ත්වයන් ගේ ශරීර අනුවත්, ඔවුන් ගන්නා ආහාර අනුවත්, ඒ ඒ කාලවල පවත්නා සෘතුගුණය අනුවත් ඒ ඒ ජාතිවල උපදනා සත්ත්වයන් ගේ ශරීර වැඩී දිරා යාමට ගත වන කාල ප්‍රමාණයක් ඇත්තේ ය. ඒ කාලයට “ආයුඃකාලය” යි කියනු ලැබේ. කල් ගත වීමෙන් උපන් සත්ත්වයා ගේ ශරීරය වැඩී දිරා ගිය පසු ජීවිතයට පැවතීමට තැනක් නැතිවීමෙන් සත්ත්වයා මැරෙන්නේ ය. එසේ වන්නා වූ මරණය ආයුඃක්ෂය මරණ නම් වේ. ආයුෂය ගෙවී යාම හැර කර්මාදි තවත් හේතුවක් එයට නැත්තේ ය.
උත්පත්තියට හේතුවන කර්ම ද ශක්ති ප්‍රමාණයෙන් අනේකාකාර වේ. බලවත් කර්මයෙන් උපන්නහු ගේ ජීවිතය බොහෝ කල් පවතී. දුබල කර්මයෙන් උපන්නහු ගේ ජීවිතය කර්මයාගේ දුර්වලත්වය නිසා මඳ කලක් පමණක් පවතී. උපන් සත්ත්වජාතියේ හැටියට ජීවත් විය හැකි කාලය ඉදිරියට බොහෝ ඇතත් දුබල කර්මයෙන් උපනුන්ට කර්ම ශක්තිය ගෙවී යාමෙන් මරණයට පැමිණෙන්නට සිදු වේ. එසේ වන මරණය කර්මක්ෂය මරණ නම් වේ. මේ කර්මක්ෂය මරණයට ද කර්මශක්තිය ඉවරවීම හැර අන් හේතුවක් නැත්තේ ය.
සමහර සත්ත්වයෝ ආයුඃකර්ම දෙක ම එකවිට ගෙවී යාමෙන් මරණයට පැමිණෙති. එය උභයක්ෂය මරණ නම් වේ. ආයුඃකර්ම දෙක එකවිට ගෙවී යාමක් වෙතොත් එය කලාතුරකින් සිදුවන්නක් බව කිය යුතු ය.
ආයුඃ කාලය ඉදිරියට කොතෙක් ඇතත් කර්මය ගෙවී ගියහොත් පහන් තිරය ඇතත් තෙල් ඉවර වුවහොත් ප්‍රදීපයට නො පැවතිය හැකි වන්නාක් මෙන් ජීවිතයට නො පැවතිය හැකි ය. කර්ම ශක්තිය කෙතෙක් දුරට ඇතත් ආයුඃකාලය ගෙවී ගිය පසු කර්මයට පමණක් ජීවිතය නො පැවැත්විය හැකි ය. පශ්චිම භවික මහාබෝධි සත්ත්වයන් වහන්සේලා උපදින්නේ ඉතා බලවත් කාමාවචර කුශල කර්මයකිනි. එය වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් කරවීමට සමත් කර්මයෙකි. එහෙත් ඒ ඒ කාලවල ඇති සෘතුගුණය හා ආහාර අනුව ශරීරය දිරා යන බැවින් ලොවුතුරා බුදුවරුන්ට ද එතෙක් ජීවත්විය නොහේ.
“විපස්සී ආදයො පන සබ්බේපි බොධිසත්තා මෙත්තා පුබ්බභාගෙන සොමනස්ස සහගත ඤාණ සම්පයුක්ත අසංඛාරික චිත්තෙන මාතුකුච්ඡිස්මිං පටිසන්ධි ගණ්හිංසු. තෙන චිත්තෙන ගහිතාය පටිසන්ධියා අසංඛෙය්‍යං ආයු, ඉති සබ්බබුද්ධා අසංඛෙය්යායුකා තෙ කස්මා අසංඛෙය්‍යං න අට්ඨංසු? උතුභොජන වසෙන හි ආයු හායතිපි වඩ්ඪතිප”
මේ මහාපදාන සූත්‍ර අටුවා පාඨයෙන් විපස්සී ආදි සියලු ම බෝධිසත්වයන් වහන්සේලා මෛත්‍රී පූර්වභාග සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාරික චිත්තයෙන් මව් කුස පිළිසිඳ ගන්නා බවත්, ඒ සිතින් ගත් ප්රතිසන්ධියට අසංඛෙය්‍යයක් ආයු ඇති බවත්, එහෙත් සෘතු භෝජනයන් අනුව සත්ත්වයන් ගේ ආයුෂයේ පිරිහීම හා වැඩීම වන බැවින් උන් වහන්සේලා වර්ෂ අසංඛෙය්‍යයක් ජීවත් නො වන බවත් දක්වා තිබේ. ආයුඃකාලය ගෙවුණු පසු බලවත් කර්මයෙන් පිළිසිඳ ගන්නා බෝධිසත්ත්වයන්ටත් ජීවත් විය නොහෙන කල්හි ආයුඃකාලය ගෙවුණු පසු තරමක කර්ම ශක්තියක් ඇතත් සාමාන්‍ය ජනයාට ජීවත් විය නො හැකි වීම ගැන කියනුම කිම? බලවත් කර්මවලින් උපන් පුද්ගලයන්ට රසායන බෙහෙත් සේවනය කිරීමෙන් ශරීරයේ දිරීම වලක්වා වැඩි කලක් ජීවත් විය හැකි බව ද කියා තිබේ.
ආයුඃකාලය ගෙවීමෙන් හෝ කර්මය ගෙවීමෙන් හෝ ඒ දෙක ම ගෙවීමෙන් හෝ වන මරණය ස්වාභාවික මරණය ය. එයට කාල මරණය යි කියනු ලැබේ.
සත්ත්වයා ගේ ජීවිතය කළුගලක්, පළිඟුවක්, වානේ කඳක් සේ ශක්තිමත් දෙයක් නොව ඉතා දුබල දෙයකි. එය බොහෝ හේතූන් නිසා පවත්නා දෙයකි. හේතූන් ගේ උපකාරය නො ලද හොත් දින ගණනක් තබා විනාඩි ගණනකුදු පැවතීමේ ශක්තියක් ජීවිතයට නැත. ජීවිතයේ තත්ත්වය විශුද්ධිමාර්ගයෙහි මෙසේ දක්වා ඇත්තේ ය.
“ආයු නාමෙතං අබලං දුබ්බලං, තථා හි සත්තානං ජීවිතං අස්සාසපස්සාසූපනිබද්ධං චෙව ඉරියාපථූපනිබද්ධඤ්ච සීතුණ්හූ-පනිබද්ධඤ්ච මහාභූතූපනිබද්ධඤ්ච ආහාරූපනිබද්ධඤ්ච
“ජීවිතය නම් වූ මෙය අබලය, දුබලය, සත්ත්වයන් ගේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස නිසා පවත්නක් ය, ඉරියව් පැවැත්වීම නිසා පවත්නක් ය, ශීතෝෂ්ණ දෙක නිසා පවත්නක් ය, මහා භූතයන් නිසා පවත්නක් ය, ආහාරය නිසා පවත්නක් ය” යනු එහි තේරුම ය.
ජීවිතයට පැවතිය හැකි වන්නේ ආශ්වාස ප්‍රශ්වාස පවතින හොත් ය. කවර හේතුවකින් හෝ එය නැවතුන හොත් ඉන් ඔබ්බට ජීවිතය නො පවතී. ඉරියව් පැවැත්වීම සුදුසු සේ කෙරෙත හොත් ජීවිතයට පැවතිය හැකි ය. එය නො කෙරෙත හොත් එයින් ද ජීවිතය නස්නේ ය. ශීතෝෂ්ණ දෙක සුදුසු පමණට පවතිත හොත් ජීවිතයට පැවතිය හැකි ය. එකක් අධික වුවහොත් ජීවිතය නො පවත්නේ ය. ධාතු සතර සමව පවතිත හොත් ජීවිතයට පැවැතිය හැකි ය. එසේ නො වුව හොත් ජීවිතයට නො පැවතිය හැකි ය. ආහාරය ලැබෙන තෙක් ජීවිතයට පැවතිය හැකි ය. ආහාරය නො ලැබී ගිය හොත් ජීවිතය නස්නේ ය. තවත් දේවල උපකාරය නැතිව පැවතිය හැකි ශක්තියක් නැති බැවින් ජීවිතය ඉතා දුබල ය. එය කොයි මොහොතේ දී වුව ද නැතිවිය හැකි ය. ඒ නිසා ජීවිතය දිය බුබුලකට පිනිබිඳකට ගසක ඉදී එල්ලෙන කොළයකට ගෙඩියකට ආවරණයක් නැති තැන දැල්වෙන ප්‍රදීපයකට උපමා කොට තිබේ.
‘කර්මයෙන් ඇති කළ ජීවිතය කර්ම බලය පවත්නා තෙක් කවර ආකාරයකින්වත් නැති කළ නො හැකිය’ යන අදහසක් සමහරුන් තුළ ඇත්තේ ය. එය වැරදි අදහසකි. කර්මයට එතරම් බලයක් ඇති නම් ජීවිතය පිනිබිඳු ආදියට උපමා කොට නො වදාරන්නාහ. කර්මය අන් කිසිවක් මැඩිය නොහෙන මහ බලයක් නො වේ. සිය වසක් ජීවත් වීමේ ශක්තිය ඇති ගසක් වුවමනා නම් සුළු වේලාවක දී කපා විනාශ කළ හැකි ය. එමෙන් සිය වසක් ජීවත් කරවීමේ ශක්තිය ඇති කර්මයෙන් උපදවනු ලැබූවකු කර්ම ශක්තිය තිබියදී ම මොහොතක දී මරා දැමිය හැකි ය. කර්ම ශක්තියට වඩා බලවත් දෙයක් පැමිණි කල්හි කර්ම ශක්තිය එය මැඩලීමට සමත් නො වේ. කර්මයට ඇත්තේ ආහාරාදි අනික් හේතූන් ගේ අනුග්‍රහය ලැබෙන තෙක්, විපතක් නො එන තෙක් ජීවත් කරවීමේ ශක්තිය පමණෙකි. සත්ත්වයා ගේ ශරීරය ඇතුළේ ද දිවි නැසීමට සමත් බොහෝ හේතු ඇත්තේ ය. සත්ත්වයා හාත්පස බොහෝ ජීවිතනාශක හේතු ඇත්තේය. එබැවින් ඉදිරියට ආයුකාලය ඉතිරිව තිබිය දී කර්මබලය ඉතිරිව තිබිය දී සත්ත්වයාට මැරෙන්නට සිදුවිය හැකි ය. ආයුඃ කාලය හා කර්ම බලය ඉතිරිව තිබිය දී වන මරණය ‘අකාල මරණ’ නම් වේ.
අකාල මරණයට හේතු ඉතා බොහෝ ය. උපඝාතක කර්මය ද අකාල මරණයට හේතු වේ. ගුණවතුන්ට අපරාධ කිරීම් වශයෙන් වර්තමාන භවයේ කරන ඇතැම් බලවත් අකුශල කර්ම හා අතීත භවවල දී කළ ඇතැම් ප්‍රාණඝාතාදි අකුශල කර්ම ද අකාල මරණයට හේතු වේ.
කකුසඳ බුදුන් වහන්සේ ගේ ශාසනයෙහි ශ්‍රාවකයනට ‘දූසී’ නම් මාරයා නොයෙක් කරදර කෙළේ ය. දිනක් ඔහු ළමයකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේ හා පිඬු සිඟා වැඩියා වූ ‘විධුර’ නම් ශ්‍රාවකයන් වහන්සේට ගලකින් ගසා උන් වහන්සේ ගේ හිස තුවාල කෙළේ ය. උන් වහන්සේ ලේ ගලන්නා වූ හිසින් ම කකුසඳ බුදුන් වහන්සේ අනුව වැඩි සේක. එකල්හි කකුසඳ බුදුන් වහන්සේ මේ දූසීමාර තෙමේ පමණ ඉක්මවන්නේය යි හැරී බලා වදාළ සේක. එකෙණෙහි ම දූසී මාර මැරී මහා නරකයෙහි උපන්නේ ය. ඔහු ගේ අකාල මරණය වූයේ රහතන් වහන්සේට අපරාධ කිරීම වූ අකුශල කර්මයෙන් ය. පිරිස් මැද බුදුරජාණන් වහන්සේට බොරු චෝදනාවක් කිරීමේ පාපයෙන් ‘චිඤ්ච මානවිකාව’ අකාලයේ මැරී අවීචි මහා නරකයෙහි උපන්නා ය. ‘මහාප්‍රතාප රජුට’ අකාලයේ මැරී අවීචි මහා නරකයෙහි ඉපදීමට මහා බෝධිසත්ත්ව ධර්මපාල කුමාරයන්ට අපරාධ කිරීමේ පාපය හේතු විය.
උදේන රජු ගේ ‘සාමාවතී’ දේවිය ඇතුළු පන්සියයක් ස්ත්රීන්ට ගින්නෙන් දැවී අකාලයේ මිය යන්නට හේතු වූයේ පෙර ජාතියක දී නිරෝධ සමාපත්තියට සම වැදී වැඩ හුන් පසේ බුදු කෙනකු ගේ ශරීරය මත දර දමා ගිනි ලෑ පාපකර්මය ය. මුගලන් මහ තෙරුන් වහන්සේට අකාල මරණයට පත්වන්න සිදු වූයේ ද පෙර ජාතියක දී කළ පාපකර්මයක් නිසා ය. උන් වහන්සේ පෙර ජාතියක දී භාර්යාව ගේ වචනය පිළිගෙන මහලු මව්පිය දෙදෙනා වනයට කැඳවාගෙන ගොස් එහි දී පහර දී මරා දැමූහ. ඒ පාපය විපාකදීම් වශයෙන් මුගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබ අකාලයේ පිරිනිවන් පාන්නට සිදු විය. ශාක්‍යයන් හට විඩූඩභ අතින් මැරුම් කා විනාශ වන්නට සිදු වූයේ එකතු වී ගංගාවකට විෂ දැමීමේ අකුශල කර්මය ය. මෙසේ වර්තමාන භවයේ කරන ලද්දා වූ ද අතීත භවවල කරන ලද්දා වූ ද අකුශල කර්මයන්, සමහර විට අකාල මරණයට හේතු වන බව දත යුතු ය.
“ජිගච්ඡාය පිපාසාය අහිදට්ඨා විසෙන ච
අග්ගි උදක සත්තීහි අකාලෙ තත්ථ මීයති”
යනුවෙන් සාගින්නය, පිපාසායවය, සර්පයන් දෂ්ට කිරීමය, වස කැවීමය, ගින්නට හසු වීමය, දියට වැටීමය, ආයුධයෙන් තුවාලවීමය යන කරුණු සතෙන් අකාලයෙහි මැරෙන බව මිළින්දප්‍රශ්නයෙහි දක්වා තිබේ.
“වාත පිත්තෙන සෙම්හේන සන්නිපාතෙනුතූහි ච,
විසමොපක්කම කම්මෙහි අකාලෙ තත්ථ මීයති”
යනුවෙන් වාතය කිපීමය, පිත කිපීමය, සෙම කිපීම ය, වාතාදියෙන් දෙකක් හෝ තුන ම හෝ එකවර කිපීම ය, සෘතු විපර්‍ය්‍යාසය ය, නො මනා පැවැත්මය, උපක්‍රම කිරීම ය, කර්මය ය, යන කරුණු අටෙන් සත්ත්වයන් අකාලයෙහි මැරෙන බව ද මිළින්දප්‍රශ්නයෙහි දක්වා තිබේ.
මේ කරුණු අටෙන් වාතාදි දොස් කිපීම ප්‍රකට ය. වාතාදීන් ගේ කිපීම නොයෙක් කරුණෙන් සිදු වේ. කර්මජාබාධ හටගැනීමේ දී ද වාතාදීන් ගේ කිපීම වේ. එබැවින් වාතාදිය කිපීමෙන් ආබාධයක් හටගත් කල්හි එය කර්මයෙන් හට ගත්තා ද අනික් හේතුවකින් හට ගත්තා ද කියා තේරුම් ගැනීමට දුෂ්කර ය.
සෘතුවය යි කියනුයේ තේජෝ ධාතුවට ය. එය විපර්‍ය්‍යාස වන කල්හි එය හා බැඳී පවත්නා අනික් ධාතු තුන ද විපර්‍ය්‍යාස වේ. එයින් සත්ත්ව ශරීරවලත් බාහිර ලෝකයෙහිත් නොයෙක් දේ සිදු වේ. කෙනකු ගේ උත්සාහයෙන් තොරව ලෝකයෙහි ඇතිවන ගිනි ගැනීම්, ජලගැලීම්, ගිනිකඳු පිපිරීම්, භූමිකම්පා, අකුණු ගැසීම්, ගස් කඩා වැටීම් ආදිය සෘතුවෙන් වන උපද්‍රවයෝ ය. ඒවායින් ද බොහෝ සත්ත්වයෝ අකාලයේ මැරෙති.
පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම්, නුසුදුසු ආහාර ගැනීම්, පමණට වඩා ආහාර ගැනීම්, නො සැලකිලි ලෙස රිය පැදවීම්, නො සැලකිල්ලෙන් මහ මඟ ගමන් කිරීම්, අන්තරාය සහිත තැන්වල නො සැලකිලි ලෙස හැසිරීම යනාදියෙන් වන මරණ නො මනා පැවැත්මෙන් හෙවත් නො නිසිලෙස හැසිරීමෙන් වන මරණයෝ ය.
තමා ගේ ම හෝ රජුන් ගේ සොරුන් ගේ සතුරන් ගේ නපුරු සතුන් ගේ අමනුෂ්‍යයන් ගේ හෝ ක්‍රියාවලින් වන මරණ උපක්‍රමයෙන් වන මරණයෝ ය. බෙල්ලේ වැල ලා ගැනීම්, දියට පැනීම්, දුම්රිය මඟට පැනීම්, පහර දීම්, පිහියෙන් ඇණීම්, කඩුවෙන් ගැසීම්, වෙඩි තැබීම්, බෝම්බ දැමීම්, විෂ යෙදීම් ආදියෙන් බොහෝ සත්ත්වයෝ පරෝපක්‍රමයෙන් මැරෙති. අමනුෂ්‍යයන් ගේ උපක්‍රමවලින් ද බොහෝ සත්ත්වයෝ අකාලයෙහි මැරෙති.
කර්මයෙන් අකාළ මරණය වීම ඉහත විස්තර කරන ලදි. උපක්‍රමයෙන් වන මරණයට සමහර අවස්ථාවල දී කර්මය ද සම්බන්ධ විය හැකි ය. මුගලන් මහ තෙරුන් වහන්සේට අකාල මරණය වූයේ සොරුන් ගේ උපක්‍රමයෙනි. එහෙත් අතීත කර්මය නො තිබුණා නම් උන් වහන්සේ සොරුන්ට හසු නො වන්නාහ. ඔවුන්ට අසුවූයේ අතීත කර්මය නිසා ය. එබැවින් මුගලන් මහතෙරුන් වහන්සේ ගේ අකාල මරණය කර්මයෙන් වන අකාල මරණයට ඇතුළත් වේ. සමහරුන් කරන අපරාධ ගැන කිපුණා වූ දේවතාවෝ සමහර විට සම්පූර්ණ රටවල් විනාශ කෙරෙති. එබඳු අවස්ථාවලදී ද ඉදිරියට ජීවත්වීමට කර්ම ශක්තිය ඇත්තා වූ බොහෝ සත්ත්වයෝ අකාලයෙහි මිය යති. සෘතු විපර්ය්යාසවලින් ද එසේම බොහෝ සත්ත්වයෝ මිය යෙති. සෘතු විපර්‍ය්‍යාසයෙන් හෝ දේවතා කෝපයෙන් හෝ යුද්ධයෙන් හෝ පැමිණෙන බලවත් විපත් වැළැක්වීමට ඒවාට හසුවන සත්ත්වයන් ගේ අතීත කර්ම සමත් නො වේ. කර්ම බලය සෘතු විපර්ය්යාසාදියෙන් වන මහ විපත්වලට යට වේ. එබඳු විපත් එන කල්හි සමහර විට උපායෙහි දක්ෂ පුද්ගලයෝ ඒවායින් මිදෙති. ජීවත් වීමේ කර්ම ශක්තිය ඇත්තා වූ ද සෙස්සෝ ඒවාට හසු වී අකාලයෙහි මිය යති.