මේ විසඳීමට දුෂ්කර ප්‍රශ්නයෙකි. බුදුවරුන්ට රහතුන්ට කර්මවිපාක ඇති නැති බව තේරුම් ගත හැකි වීමට අභිධර්මය තරමක් දුරටවත් දැන තිබීම ප්‍රයෝජනවත් ය. අභිධර්මය නො දන්නවුන්ට කර්මය විපාක තත්ත්වය හරියට තේරුම් ගැනීම අපහසු ය. අභිධර්මය නො දන්නා පින්වතුන්ට මේ කර්ම විපාක තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියට ලියන ඇතැම් කරුණුවල කිසි රසයක් නැතිවිය හැකි ය. එය ගැන අපට කළ හැකි දෙයක් නැත.
කර්ම යනු කුශලාකුශල දෙපක්ෂයට ම සාධාරණ නමෙකි. කුශලයට ‘කුශල කර්මය’ යන නම ද, අකුශලයට, ‘අකුශල කර්මය’ යන නම ද ව්‍යවහාර කරනු ලැබේ. සාමාන්‍ය ජනයා කර්මය කීවාම එයින් ගැනෙන්නේ අකුශලයමය’ යි සිතති. එය වැරදි අදහසෙකි. යමකු ගේ සන්තානයෙහි අර්‍හන්මාර්‍ගය ඇති වුවහොත් එයින් තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරනු ලැබේ. තෘෂ්ණාව නැති වීම අනුව ඒ තැනැත්තා ගේ සන්තානයෙහි එතෙක් ඇති වූ සකල කුශලාකුශල කර්මයන්ගේ ම ප්රතිසන්ධි ඇති කිරීමේ ශක්තිය නැති වන්නේ ය. එබැවින් අර්හන් මාර්ගඥානයට ‘කර්මක්ෂයකර ඥානය’ යි ද කියනු ලැබේ.
සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කර්මක්ෂයකරඥානය ලැබුවෝ ය. උන්වහන්සේලාට අනාගත ප්‍රතිසන්ධියක් නැත. පව් කිරීමට හේතුවන සකලක්ලේශයන් ම අර්හන්මාර්ගයෙන් ප්රහාණය කෙරෙන බැවින් රහත් වීමෙන් පසු රහතුන් අතින් පව්කම් සිදු නො වේ. රහත් වූ පුද්ගලයන් විසින් කුශල පක්ෂයට අයත් දානශීලාදි ක්‍රියා සිදු කරතත් ඒවායින් අනාගත භවයේ විපාක ඇති කරනු නො ලැබේ. ඒවායින් ඒවා කුශලයන් සැටියට නොව ක්‍රියා සැටියට පමණක් සලකනු ලැබේ. දානාදි ක්‍රියා කිරීම් වශයෙන් රහතුන් කෙරෙහි ඇති වන සිත් අභිධර්ම පිටකයෙහි හඳුන්වා තිබෙන්නේ කුශල් සිත්ය කියා නොව ක්‍රියා සිත්ය කියා ය. ලොවුතුරා බුදුවරු ද අර්හත් පුද්ගලයන්ට ම අයත් කොටසකි. බුදුවරුය, පසේ බුදුවරුය, රහත්හුය යන සැමදෙනාට ම අනාගත භවය නැති බැවින් කලින් කළ කුශලාකුශලයන් ගේ විපාක අනාගත භවයන්හි ඇති නො වනවා මිස, පිරිනිවන් පානා තුරු වර්තමාන භවයෙහි අතීත කර්මයන් ගේ විපාක ඇති නො වන බව දැක්වෙන බුද්ධ දේශනයක් පිටකත්‍රයෙහි දක්නට නැත.
ලොවුතුරා බුදුවන බෝධිසත්ත්ව කෙනකුන් යම් කුශල කර්මයක බලයෙන් මව්කුස පිළිසිඳ ගත්තා නම් ඒ බෝසතාණන් වහන්සේ බුදුව පිරිනිවන් පානා තෙක් උන්වහන්සේ ගේ සන්තානයෙහි ඒ කුශලකර්මයේ විපාක වශයෙන් භවාංග සිත් පරම්පරාවක් ඇති වේ. ඒ භවාංග සිත් සියල්ල ම ප්රතිසන්ධිය ගෙන දුන් කර්මයෙන් ම ඇති කරන විපාකයෝ ය. චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණවිඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන මේ සිත් ද කර්ම විපාක වශයෙන් ම ඇති වන සිත් ය. දැකීම ඇසීම ගඳ සුවඳ රස දැනීම ස්පර්ශය දැනීම කෙරෙන්නේ ඒ සිත්වලින් ය. ලොවුතුරා බුදුවරුන්ට කර්ම විපාක වශයෙන් ම ඇති වන භවාංග සිත් හා චක්ඛු විඤ්ඤාණාදි විපාක සිත් ඇති වන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලාට කර්මවිපාක ඇති නො වනවා නම් බුදුවීමෙන් පසු මොහොතකුදු උන්වහන්සේලාට ජීවත් වන්නට නො ලැබෙන්නේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලෝකයෙහි ජීවත් වන්නේ කර්ම විපාක උන්වහන්සේලාට ඇති වන බැවිනි.
කුශල කර්මවල විපාක ලොවුතුරා බුදුවරයන්ට ඇති වෙතත් සියලු අකුශලයන් ප්රහාණය කොට බුදුවන බැවින් උන්වහන්සේලාට අකුශල කර්ම විපාක දෙන්නේ නැතය කියා බුදුන් වහන්සේ වදාළ තැනක් පිටකත්‍රයෙන් නො දැක්විය හැකි ය. ලොවුතුරා බුදුවරයන් විසින් ප්‍රහීණ කර ඇත්තේ අකුශල් පමණක් නො වේ. කුශලාකුශල දෙපක්ෂය ම ලොවුතුරා බුදුවරයන් ඇතුළු සියලු රහතුන් විසින් ප්‍රහීණ ය.
“සමිතා වී පහාය පුඤ්ඤපාපං
විරජො ඤත්වා ඉමං පරඤ්ච ලොකං,
ජාති මරණං උපාතිවත්තො
සමණො තාදී පවුච්චති තථත්තා”
මේ සුත්ත නිපාතයේ සභිය සූත්‍රයේ ගාථාවෙකි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ බුදුවරයන් පමණක් නොව සියලු ම රහතුන් කුශලාකුශල දෙක ප්රහාණය කොට සිටින බව ය.
“අත්ථි සක්යකුලෙ ජාතො බුද්ධො අප්පටිපුග්ගලො”
සබ්බාභිභූ මාරනුදො සබ්බත්ථ මපරාජිතො.
සබ්බත්ථ මුත්තො අසිතො සබ්බං පස්සති චක්ඛුමා
සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තො උපධිසංඛයෙ,
සො මය්හං භගවා සත්ථා තස්ස රොචෙමි සාසනං”
මේ භික්ඛුණී සංයුත්තයේ සූත්‍රයක එන බුද්ධස්තෝත්‍ර ගාථා දෙකකි. එහි “සබ්බකම්මක්ඛයං පත්තෝ” යන ගාථා පදයෙන් කියැවෙන්නේ බුදුන් වහන්සේ කුශලාකුශල සකල කර්මයන් ගේ ම ක්ෂයට පැමිණ සිටින බව ය. නො එසේ නම් ඒ ගාථාපදය තිබිය යුත්තේ “පාපකම්මක්ඛයං පත්තො” කියාය. මේ කරුණු අනුව සලකන කල්හි අකුශලයන් ප්රහාණය කොට බුදුවන බැවින් අකුශල කර්මවල විපාක ලොවුතුරා බුදුවරුන්ට නො ලැබෙනවාය යන්න නො පිළිගත හැකි ය. තථාගතයන් වහන්සේ විශාලා මහ නුවරට වැඩම කළ අවස්ථාවේ දී ලද පූජා සත්කාරයන් පෙර කළ කුශල කර්මවල බලයෙන් ලැබුණු බව උන්වහන්සේ විසින් ම වදාළ සැටි රතන සූත්‍ර අටුවාවෙහි හා දම්පියාටුවාවෙහි ද දක්වා ඇත්තේ ය.
“සුණාථ භික්ඛවො මය්හං යං කම්මං පකතං මයා
පිලොතිකස්ස කම්මස්ස බුද්ධත්තෙපි විපච්චති”
යනාදීන් පුබ්බකම්ම පිලෝතික බුද්ධාපදානයෙහි අප බුදු රජාණන් වහන්සේටත් අකුශලකර්ම දොළසක් විපාක දුන් බව වදාරා ඇත්තේ ය. දික්වන බැවින් විස්තරය මෙහි නො දක්වනු ලැබේ. විස්තරය අපදාන අටුවාවෙන් බලාගත හැකි ය.
“වෙමාතුභාතිකං පුබ්බෙ ධනහෙතු හනී අහං,
පක්ඛිපිං ගිරිදුග්ගස්මිං සිලාය ච අපිංසයිං.
තෙන කම්මවිපාකෙන දෙවදත්තො සිලං ඛිපි,
අංගුට්ඨං පිංසයි පාදෙ මම පාසාණ සක්ඛරා”
යනුවෙන් අතීතයේ එක්තරා ජාතියක දී සහෝදරයකු මරා ගිරිදුර්ගයකට හෙලීමේ පාපය හේතු කොට බුදුවීමෙන් පසුත් දෙවිදත් තෙරුන් විසින් ගල පෙරලීමෙන් පයෙහි සුළඟිල්ල තැළුණු බව අපදාන පාලියෙහි වදාරා තිබේ. මිළින්ද ප්‍රශ්නයෙහි මේ කාරණය දැක්වෙන්නේ මෙයට වෙනස් සැටියකිනි.
“යං පන මහාරාජ! භගවතො පාදො සකලිකාය ඛතො, තං වෙදයිතං නෙව වාතසමුට්ඨානං න පිත්තසමුට්ඨානං, න සෙම්හසමුට්ඨානං, න සන්නිපාතිකං, න උතුපරිණාමජං, න විසමපරිහාරජං, න කම්මවිපාකජං, ඔපක්කමිකං යෙව”
යනුවෙන් බුදුන් වහන්සේ ගේ පාදයෙහි ගල්පතුර ගැටීමෙන් වූ වේදනාව වාතයෙන් හටගන්නා ලද්දක් ද නො වේ ය. පිතින් හටගන්නා ලද්දක් ද නො වේය, සෙමෙන් හටගන්නා ලද්දක් ද නො වේය, සන්නිපාතයෙන් හටගන්නා ලද්දක් ද නො වේය, සෘතු පරිවර්තනයෙන් හටගන්නා ලද්දක් ද නො වේ ය, නො මනා පැවැත්මෙන් හටගන්නා ලද්දක් ද නො වේය, කර්ම විපාකයෙන් හටගන්නා ලද්දක් ද නොවේය, හුදෙක් එය දේවදත්ත ගේ උපක්‍රමයෙන් ම හටගන්නා ලද්දකැ යි දක්වා තිබේ. එහි වාතය පිතය සෙමය සන්නිපාතය සෘතුපරිවර්තනය විසම පරිහාරය උපක්‍රමය කර්මය කියා වේදනා ඇතිවීමේ හේතු අටක් දක්වා: “නත්ථි භගවතො කම්මවිපාකජා වෙදනා, නත්ථි විසමපරිහාරජා වේදනා අවසෙසෙහි සමුට්ඨානෙහි භගවතො වෙදනා උප්පජ්ජති” යි භාග්‍යවතුන් වහන්සේට කර්මවිපාක වේදනා ද නැත. නො මනා ශරීර පරිහරණයෙන් වන වේදනා ද නැත. ඉතිරි හේතු සයෙන් ඇති වන වේදනා පමණක් ඇත්තේය යි දක්වා තිබේ.
අපදානපාලිය, මිළින්ද ප්රශ්නය යන මේ පොත් දෙක ම බෞද්ධ සාහිත්‍යයෙහි උසස් පොත් දෙකකි. ඒ එකකුදු අහක දැමිය යුතු පොත් නො වේ. ඒවායේ මේ වෙනස කෙසේ සිදුවී ද යනු තේරුම් ගැනීමට දුෂ්කර ය. විමසිය යුතු ය.