සත්ත්වයාය පුද්ගලයාය කියන්නේ පඤ්චස්කන්ධයට ය. පඤ්චස්කන්ධය හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත්තේ ය. ලෝකයෙහි විපත්ය, දුක්ය, කරදරය කියා යමක් ඇති නම් ඒ සියල්ලම ඇත්තේ පඤ්චස්කන්ධය නිසා හෝ පඤ්චස්කන්ධයෙහි ය. විපත් දුක් කරදර උපදින තැන පඤ්චස්කන්ධය ය. යුද්ධයක දී පළාතකට බෝම්බ වැටෙන්න වුවහොත් එය මහා විපතෙකි. මහා භයකි. මහාදුකෙකි. බෝම්බ වැටීම විපතක් බියක් දුකක් වන්නේ ඒවාට හසුවී කැඩී බිඳී යන, ඒ නිසා වන වේදනා විඳින ඒවාට තැති ගැනෙන බිය වන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් වර්ෂාවක් මෙන් බෝම්බ වැටුණත් එය විපතක් බියක් දුකක් නො වේ. වතු කුඹුරු ගෙවල් යට කරගෙන මහා ජලස්කන්ධයක් ගලා එන්නට පටන් ගත හොත් එය විපතක් බියක් දුකක් වන්නේත් එයට යට වී අමාරුවට පත්වන මැරෙන ඒ දුක් දැනෙන විඳින තැති ගැනෙන බියවන පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. නැති නම් ඒ මහා ජල ගැල්ම විපතක් නො වේ.
මහා ගින්නක් ඇති වූ කල්හි එය විපතක් දුකක් වන්නේත් පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධය නැති නම් මුළු පොළොවෙහි යොදුන් ගණනක් ඉහළට නැඟ සිටින මහ ගින්නක් ඇති වුවත් මේ පොළොව අවීචි මහා නරකය වැනි වුවත් එය විපතක් දුකක් නො වේ. මහ නියඟයක් වී ළිං පොකුණු වැව් ඇළ දොළ ගංගා වියළී ගොස් පොළොවේ ගස් වැල් මැරී ගිය හොත් එය විපතක් වන්නේ ආහාර හා වතුර නැතිව පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය ඇති නිසා ය. නැති නම් සැම කල්හි ම පොළොව වියළී තිබුණත් එය විපතක් නො වේ. මේ කරුණු අනුව විපත්ය කියා සලකන සෑම එකක් ම විපත් වන්නේ පඤ්චස්කන්ධය නිසා ම බව කිය යුතු ය.
ලෝකයෙහි බොහෝ දුක් ඇති කරන නොයෙක් රෝග ඇත්තේ ය. සියලු රෝගවල ම උත්පත්තිස්ථානය පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධය නැතහොත් රෝග නැත. පඤ්චස්කන්ධය ඇතහොත් රෝග ද ඇත්තේ ය. එබැවින් රෝ දුක් ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. පඤ්චස්කන්ධය දිරන එකකි. පඤ්චස්කන්ධයක් නැති නම් ජරාවක් ඇති වීමට තැනක් නැත. පඤ්චස්කන්ධය ඇත හොත් ජරාව ද ඇත්තේ ම ය. එබැවින් ජරාදුඃඛය ඇති කරන සතුරාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මරණය ඇතිවන තැනත් පඤ්චස්කන්ධය ය. එය ඇතොත් මරණය ඇත්තේ ය. නැත හොත් නැත්තේ ය. එබැවින් මාරයාත් පඤ්චස්කන්ධය ම බව කිය යුතු ය. මැරෙන්නාය මාරයාය යන දෙදෙනම වන්නේ එක ම පඤ්චස්කන්ධය ය.
පඤ්චස්කන්ධය නිතර ම මැරෙන්න යන ස්වභාවය ඇතියකි. එයට මැරෙන්නට නොදී පවත්වා ගැනීමට නම් දිනපතා ම ආහාර පානවලින් පෝෂණය කළ යුතු ය. ශීතෝෂ්ණ දෙක සමව පවත්වා ගත යුතු ය. සතුරන්ගෙන් ආරක්ෂා කර ගත යුතු ය. අවු සුළං වැසි වලින් ආරක්ෂා කර ගත යුතු ය. එබැවින් පඤ්චස්කන්ධයට ඇලුම් කරන තැනැත්තා විසින් එය පැවැත්වීම ආරක්ෂා කිරීම සඳහා බොහෝ වෙහෙසිය යුතු ය. දිනපතා වැඩ කළ යුතු ය. පඤ්චස්කන්ධය පෝෂණය පිණිස පරෙස්සම් කිරීම පිණිස පිනවීම පිණිස සමහර විට නොයෙක් පව්කම් කරන්නට ද සිදු වේ. එයින් අපාගත වී බොහෝ කල් දුක් විඳින්නට සිදු වෙයි. පඤ්චස්කන්ධයේ ආදීනව ඉතා බොහෝ ය. පඤ්චස්කන්ධය තරම් අන් සතුරෙක් නැත. එබැවින් පඤ්චස්කන්ධයක් නැති නම් එතරම් අන් යහපතක් නැත. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එයත් දුක් සහිත තැනක් හෝ දුකක් වන්නේ ය. නිවනෙහි පඤ්චස්කන්ධයක් ඇති නම් එහිත් ලෝකයෙහිත් ඇති වෙනසක් නැත. නිවනෙහි ඇති සැපයත් වටිනාකමත් උසස්කමත් සැපදුක් විඳින පුද්ගලයා ලෙස සලකන පඤ්චස්කන්ධය නමැති දුඃඛස්කන්ධය එහි නැති බව ම ය.
පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන්, සතුරා ගෙන්, මාරයාගෙන් ගැලවිය හැක්කේ නිවනට පැමිණිමෙනි. එයට පැමිණ එය ලබාගෙන පඤ්චස්කන්ධ සංඛ්‍යාත දුඃඛස්කන්ධයෙන් මිදිය හැකි බව ම නිවනෙන් ඇත්තා වූ මහත් වූ ප්‍රයෝජනය ය.
පඤ්චස්කන්ධයේ සැබෑ තත්ත්වය දැකිය හැකි පමණට දියුණු වූ නුවණක් නොලැබූවෝ ඔවුන් තුළ ඇති වූ ඝන වූ අවිද්‍යාව නිසා පඤ්චස්කන්ධය ලෝකයේ ඉතාම හොඳ දෙය ඉතාම උසස් දෙය සැටියට සලකා ගෙන එයට තදින් ඇලුම් කරති. විඳින සත්ත්වයා ය කියන පඤ්චස්කන්ධය නැති නිවන පලක් නැති තැනක් ලෙස හෝ නපුරක් ලෙස හෝ ඔවුනට පෙනෙන්නේ ඔවුන් තුළ පවත්නා අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා ය. අවිද්‍යාව දුරු වූ දිනක දී පඤ්චස්කන්ධයක් නැති නිවනේ අගය ඔවුනට වැටහෙනවා ඇත.