වරක් පන්සිල් සමාදන්වූවකු ගේ ශීලය සිකපදයක් කැඩෙන තුරු කොතෙක් කල් හෝ පවත්නේ ය. ඒ නිසා නැවත පන්සිල් සමාදන් වුවත් නුවූවත් සිකපද කැඩෙන තුරු ඔහු සිල්වතෙකි. ශීලය නො බිඳී ඇතත් සිල් රක්නා පුද්ගලයාහට ශීලමය කුශලය නිරන්තරයෙන් සිදුවන්නේ නො වේ. ශීලමය කුශලය සිදුවන අවස්ථා දෙකක් ඇත්තේ ය. එකක් නම් සිල් සමාදන් වන අවස්ථාව ය. සිකපද සමාදන් වන්නා වූ අවස්ථාවෙහි සිකපද සමාදන් වීම් වශයෙන් බොහෝ කුශල් සිත් ඇති වේ. අනික නම් ප්‍රාණඝාතාදි පාප ක්‍රියාවලින් වළක්නා අවස්ථාව ය. පාපයෙන් වැළකීමය කියන්නේ ප්‍රාණඝාත පාප ක්‍රියාවක් කරන්නට වුවමනා වී ඇතිවිට එය නො කර හැරීම ය.
පන්සිල් සමාදන්ව ඉන්නා තැනැත්තා ප්‍රාණඝාතාදි යම්කිසි පාපක්‍රියාවක් කරන්නට වුවමනා වූ විටෙක තමා සමාදන්ව ඉන්නා ශීලය ගැන සලකා එයින් වළකිනවා නම් ඒ අවස්ථාවල දී පාපයෙන් වැළකීම් වශයෙන් ඔහුට බොහෝ කුශල් සිත් ඇති වේ. ශීලය නො බිඳී ඇත ද අන් වැඩවල යෙදෙන්නා වූ අවස්ථාවල දී හා නිකම්ම ඉන්නා අවස්ථාවලදී ද ශීලමය කුශලය ඇති නො වේ. ශීලය නො බිඳී ඇතියකු විසින් වුව ද නැවත සිල් සමාදන් වෙනවා නම් ඒ අවස්ථාවේදී ද ඔහුට බොහෝ කුශල් සිත් ඇති වේ. නැවත නැවත ශීලමය කුශලයන් ඇතිවීම නැවත නැවත සිල් සමාදන් වීමේ ප්‍රයෝජනය ය. ඇතැම් අතිපණ්ඩිතයන් “වරක් සමාදන් වූ ශීලය ඇති නම් නැවත නැවත සමාදන් වන්නට වුවමනා නැත. එයින් ප්‍රයෝජනයක් නැතය” කියන්නේ ඔවුන් කුශලාකුශල විභාග නො දන්නා බැවිනි. දිනකට කීවරක් පන්සිල් සමාදන් වුවත් වැඩක් මිස එයින් කාටවත් වන අවැඩක් නැත.
යම්කිසි උසස් වැඩක් කරන්නට යාමේදී පන්සිල් සමාදන් වී එය කිරීම බෞද්ධ චාරිත්‍රයෙකි. ඒ බෞද්ධ චාරිත්‍රය අනුව යම්කිසි කටයුත්තකට රැස් වූ ජනයා පන්සිල් සමාදන් වන කල්හි අපට පන්සිල් ඇතය කියා කෙනකු දෙදෙනකු පන්සිල් සමාදන් නො වනවා නම් එය භේදයට කරුණකි. ඒ නිසා එබඳු තැන්වල දී සැම දෙනා කරන දෙය, නො කර, බලා සිටීම යහපත් ක්‍රියාවක් නො වන බව කිය යුතු ය. අත්තුක්කංසන වශයෙන් එසේ කරනවා නම් එය වඩාත් නරක බව කිය යුතු ය.
මනුෂ්‍යයා සැම කල්හි ම සිහියෙන් යුක්ත නො වන බැවින් වරක් පන්සිල් සමාදන් වූවහුට එය අමතක වන්නට ද බැරි නැත. නැවත නැවත සමාදන් වන කල්හි ශීලය අමතක නො වේ. එයත් නැවත නැවත පන්සිල් සමාදන් වීමේ එක් ප්‍රයෝජනයෙකි. ශීලමය කුශලය නැවත නැවත ඇතිවීමටත්, ශීලය අමතක නො වීමටත් දිනකට වරක් වත් පන්සිල් සමාදන් වීම සැම දෙනාට ම හොඳ ය.