මහබෝසතාණන් වහන්සේ ලොවුතුරා බුදුබව පතා සාරාසංඛ්‍යකල්පලක්‍ෂයක් මුළුල්ලෙහි මහ දුක් විඳිමින් පෙරුම් පිරුවේ කාගේවත් ආරාධනාවකින් නොව සකල සත්ත්වයන් කෙරෙහි පතළා වූ මහා කරුණාව නිසා ඇති වූ තමන් වහන්සේ ගේ ම කැමැත්ත පරිදි ය. එසේ පාරමිතා සම්පූර්ණ කොට බුද්ධත්වයට පැමිණිමට කල් බලා ඉන්නා බෝසතාණන් වහන්සේ කාගේවත් ආරාධනාවක් ඇතත් නැතත් යථා කාලයෙහි දෙව් ලොවින් ච්‍යුතව මව් කුස ඉපද ලොවුතුරා බුදුබවට පැමිණෙන්නාහ. පාරමී සම්පූර්ණ කොට තුෂිත දිව්‍ය ලෝකයෙහි ඉන්නා මහබෝසතුන්ගේ ආයු කෙළවර දී දසදහසක් සක්වළවල දිව්‍යබ්‍රහ්මයන් රැස්ව මිනිස්ලොව ඉපද ලොවුතුරා බුදුබවට පැමිණෙන ලෙස ආරාධනා කිරීම ධර්මතාවකි. සියලු ම මහාබෝධිසත්ත්වයන් වහන්සේලා ඒ ආරාධනාව ලබා ම පස්බැලුම් බලා මව්කුස පිළිසිඳ ලොවුතුරා බුදු බව ලබන්නාහ. එසේ ආරාධනාවක් කරන්නේ ගෞරවය පිණිස ය. ආරාධනාවකින් මිනිස් ලොවට පැමිණීම බෝසතාණන් වහන්සේට ද ගෞරවයෙකි. එය හැර දේවාරාධනාවෙහි අන් විශේෂ ප්‍රයෝජනයක් නො කිය හැකි ය.