දිනක් බණ ඇසීමට පස් දෙනෙකු පැමිණි අතර සිව් දෙනෙකු මනාව බණ නො ඇසීය. ඒ පිරිස අතර එක් තැනැත්තෙක් නිදිකිරා වැටුණේ ය, එක් තැනැත්තෙක් ගසක අත්තක් සොලවමින් සිටියේ ය, එක් තැනැත්තෙක් බිම ඉරි අඳිමින් සිටියේ ය, එක් තැනැත්තෙක් අහස දෙස බලා සිටියේ ය, එක් තැනැත්තෙක් මනාව බණ ඇසී ය. ආනන්ද හිමි අර සිව් දෙනා බණ නො අසන්නේ මන්දැ යි ඇසූ කල තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආනන්දයෙනි! හිඳ ගෙන නිදා සිටි තැනැත්තා 500ක් ජාතියෙහි සර්පයෙක්ව උපන්නෙකි. ඉරි අඳිමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි ගැඬවිල්ව උපන්නෙකි. අත්තක් සොළවමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි වඳුරව උපන්නෙකි. අහස දෙස බලමින් සිටි තැනැත්තා 500ක් ජාතියෙහි නැකැත් බලන්නෙකි. මනාව බණ අසමින් සිටි තැතැත්තා 500ක් ජාතියෙහි බ්රාහ්මණව උපන්නෙකි. එකල ඔවුන්ගේ සසර පැවති පුරුද්දට අනුව ඔවුන් දැනුත් මෙසේ කරති” යැ යි වදාළ සේක.
මෙසේම පිළින්දිවච්ච මහ රහතන් වහන්සේ “වසළයා” යැයි කියා මිනිසුන්ට කථා කරති. ඊට හේතුව ද 500ක් ජාතීන් හි බ්රාහ්මණව ඉපිද සිටීම ය. තව ද රහත් හිමි නමක් මහ මඩ වළෙන් පැනගොස් කුඩා මඩ වළෙන් බැස යාමට හේතුව ද උන්වහන්සේ පෙර ආසන්න ආත්ම ගණනාවක් ම වඳුරුව ඉපදී ඇති බැවිනි. මෙසේම අකීකරු වීම, ස්ත්රීන් රැවටීම, මෝඩ ක්රියා කිරීම්, කළගුණ සැළකීම්, නුවණින් කටයුතු කිරීම් ආදි බොහෝ ගුණාගුණ සසර පුරුදු ලෙස ඉදිරියට එන බව ජාතක අට්ඨ කථාවට අනුව පෙනේ. බොහෝ කථාවල “මහණෙනි දැන් පමණක් නොව මොහු පෙරත් මෙසේ කළේ ය” යනාදී ලෙස දක්වා ඇත. ඒ අනුව පුරුදු ඉදිරියට යන බව වටහා ගෙන කුසල ක්රියාවලම නිරත වෙත්වා.