උපන්දාම ගඟේ පාකර දැමූ කිරිකැටි බිළින්දෙකු ගේ අභිමානවත් කථාව

අකුසල කර්මවල අසෝභන විපාකත් කුසල කර්ම වල සෝභන විපාකත් මේ කථාවෙන් ද මනාවට පෙන්නුම් කරයි. සත්පුරුෂ පින්වතුනි, පෙර ඈත අතීතයේ කාශ්‍යප බුදුන් ගේ පිරිනිවීමෙන් පසු බුදුරජුන් ගේ ඒකඝණ ධාතු නිදන් කොට යොදුනක් උසට චෛත්‍යයක් කරන සමයේදී මහ රහතන් වහන්සේ නමක් චෛත්‍යයට රත්ත්‍රං සම්මාදම් කරමින් එක් රන්කරුවකු ගේ නිවසට වැඩි සේක. එවිට රන්කරු තම භාර්යාව සමඟ කලහ කරමින් සිටි බැවින් තෙරුන් වහන්සේ ඔබලාගේ චෛත්‍යයෙහි වැඩ නිමවීම සඳහා රන් නො පෙනෙනා බව මතක් කල විට භාර්යාව සමඟ තිබුණු කෝපයෙන් “නුඹ වහන්සේ ගේ ශාස්තෘන් වහන්සේ ජලයේ දමා යන්නැ යි” කීවේ ය. ඒ මොහොතේ තම භාර්යාව කෙරෙහි කෝප වුනි නම් මට නො බැන බුදුරජාණන් වහන්සේලාට වෛර කිරීම (දොස්කීම) වැරදි බව කී විට රන්කරු සංවේගයට පත්වී තෙරුන් වහන්සේගෙන් සමාව ඉල්ලී ය. බුදුරජුන්ගෙන් එයට සමාව ගන්න කී විට කුමක් කොට සමාව ගත යුතු දැයි අසා, රනින් මල් පොකුරු තුනක් කොට චෛත්‍යයේ නිදන්කොට තෙත් වූ කෙස් ඇතිව සමාව ගත යුතු බව මතක් කොට උන්වහන්සේ වැඩි සේක.

පසුව රන්කරු රනින් මල් සාදමින් තමාගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහලු පුතාට ඒ සඳහා උදව්වට කතා කල නමුත් ඔහුගෙන් ලැබුනේ “ඔබ කළ වරද ඔබම බලා ගන්න” කියා ය. දෙවැනි පුතාත් කැඳවා කී නමුත් යහපත් ප්‍රතිචාරයක් නො වීය. ඔහු ද පෙර සේම කීවේ ය. මව්පියන්ට ආදරය ඇති තුන්වන පුතාට මතක්කල පමණින් පිළිගෙන “මව්පියන්ට උපන් කෘත්‍ය දරුවන්ට බාරයි නේද” සිතා පියාට සහය වී දෙදෙනා සමඟ මල් පොකුරු තුනක් සාදා ධාතු නිධානයේ නිදන්කොට සමාකර ගත්තේ ය.

මෙසේ මොහු බුදුන් වතුරේ දමන්න කී පවින් හත්වාරයක්ම බිහිවුන කාලයේ ම ජලයේ දමන ලද්දේ ය. අවසාන ආත්ම භවයේ අප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ බරණැස් නුවර එක් සිටු කුමාරිකාවක් කුස විජ්ජාධරයෙක් (මන්ත්‍ර බලයෙන් අහසින් යන) නිසා පිළිසිඳගෙන, හොර රහසේම දස මසක් කුස දරා මෙලොවට බිහිකර තම දාසියත් සමඟ සාකච්ඡාකොට අළුත් භාජනයක් ගෙන්වා මේ කිරිකැටි දරුගැබ් මළපවා නො සෝදා එහි දමා, එය මනා කොට වසා මල්මාලා වලින් සරසා තමන් ගේ බාරයක් ඔප්පු කිරීමක් යැ යි දාසිය ලවා, නිසොල්මනේ ගඟේ පා කර හැරියා ය. අද සමාජයේ අපට නො දැනුවත්ව මෙ බඳු දේවල් මොනතරම් වෙනවා ද? කෙසේ හෝ පෙර පින් ඇති පශ්චිම භවික කිරි කැටියා ගඟ පහල නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් කාන්තාවක් ලබාගෙන දරුවා සෝදා පිරිසිදු කොට පෝෂණය කළා ය. කෙස් කරකැවී කැටිගැසී තිබුණු නිසා ජටිල කියා නම තැබුවා ය. මේ කාන්තාව මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ උපස්ථායිකාවක් බැවින් උන්වහන්සේට මහණ කරන්න කියා කුඩා වයසේදී ම පූජා කළා ය. මහ රහතන් වහන්සේ මේ දරුවා බැවිනුත් මහත් විඳින්න තරම් පුණ්‍යවන්තයෙක් නිසා ද රැගෙන ගොස් වෙනත් උපස්ථායක කුලයකට පෝෂණය කරන්න බාර කළහ. ඒ නිවසේ ගෙහිමියා ද ආදරයෙන් රැක බලාගෙන දරුවා ගේ පින් මහිමය කරුණු සහිතව දැනගෙන තමන්ගේ දූ කුමරිය මොහුට සරණ කොට දුන්නේ ය.

අළුත් නිවසට ගිය මේ දෙදෙනා නිවසට පැමිණීමත් සමඟම ඒ ජටිල තරුණයා ගේ පෙර පිං මතු වී නිවසට නැගෙනහිරින් අසූරියන් රන් පර්වතයක් පහළ විය. මෙය දැනගත් රජුගෙන් සිටු තනතුරක් ලබා ජටිල සිටු නමින් අමිත භෝගී සිටු කෙනෙක් විය. මොහුට පුත්‍රයන් තිදෙනෙක් විය. ඒ දරුවන් වැඩිවියට පත් වූ පසු පැවිදි වීමේ අදහසින් යුතුව ඒ පුත්‍රයන් කැඳවා රන් දණ්ඩක් ඇති වජිර තලයක් සහිත උදැල්ලක් දෙටු පුතාට දී රන් පර්වතයෙන් රන් පිඬක් රැගෙන එන ලෙස කීවේ ය. දෙටු පුතා ද උදැල්ලෙන් රන් පර්වතයට පහර දුන්නත් ගලකට ගැසුවාක් මෙන් විය. දෙවැනි පුතා ද එසේ ම පිටත් කළ නමුත් රන් නො කැපුනු බැවින් බාල පුතා පිටත් කළේ ය. බලන්න පින්වතුනි පෙර තාත්තාට රන්මල් හදා චෛත්‍යයට පූජා කිරීමට සහය වූ බැවින් හරියට මැටි ගොඩක් ගන්නාක් මෙන් රත්ත්‍රං කැපි කැපී යන්න පටන් ගත්තේ ය. වැඩිමහල් සොහොයුරන් දෙදෙනා පෙර රන්මල් සෑදීමට සහය නොවූ බැවින් ඔවුන්ට රන් ලබාගැනීමට නො හැකි විය. පසුව සිටුතුමා පුත්‍රයන් තිදෙනාව කැඳවා “ මේ රන් පර්වතය නුඹලා සඳහා පහළ නො වුවේ ය, මටත් බාල පුතු සඳහාත් පහළ වූවකි. ඒ නිසා මල්ලිත් සමඟ එකට පරිභෝජනය කරන්නැ යි” බාරකොට පැවිදිව අග්‍ර අමා මහා නිර්වාණ ධාතුව අවබෝධ කළේ ය. ඒ නිසා සත්පුරුෂ දරුවන් තම දෙමාපියන් ගේ කටයුතු බොහෝ ආදරයෙන් කර දෙත්වා. කිසිවෙකු කිසි කලෙක තෙරුවන්ට නිග්‍රහ නො කරත්වා.