ප්‍ර‍ස්තාවනා

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රියශක්තිය ශරීරශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේ ය. ඒ ශක්තීන් පිරිහුණු මහුල අයට පොත් ලිවීම අපහසු ය. අමාරුවෙන් ලියුව ද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලු වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කෙළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැ යි ඇසූහ. ඇතැම්හු අලුත් අලුත් පොත් නැත්තේ ඇයි ද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

“කෙලෙස් එක් දහස් පන්සියය” යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත් වන වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්නවුන් දුලබ නිසා එය වචනමාත්‍ර‍යක් වී ඇති බැවින් (කෙලෙස් එක්දහස් පන්සියය) ඒ ගැන පොතක් කවරකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග්‍ර‍න්ථමාලාවට අඩුවක් ව පවතින ග්‍ර‍න්ථයක් වන මේ කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍ර‍න්ථය ලිවීම ආරම්භ කරන ලදි.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසුකම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේලි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප්‍ර‍මාණයක් නැති ශරීරයක් නැති ඇසට නො පෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියට ම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් ගැනීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එබැවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් ම තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග්‍ර‍න්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සූවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස් විස්සක් ද ගෙන තිබේ. පාළි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්‍ය්‍යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍ර‍සිද්ධ සිංහල වචනම යොදා මේ ග්‍ර‍න්ථය ලියන ලදි. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුත්තයන් ද තිබිය හැකි ය. කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්‍ය්‍ය ධර්මය නො දත් ආර්‍ය්‍ය ධර්මයෙන් නො හික්මවනව ලද කෙලෙසුන් නො හඳුනන අන්ධ පෘථග්ජනයන් ගේ සිත්වල ය. ඔවුන් ගේ සිත් කෙලෙස් නමැති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කර ගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.

මේ පොත මුද්‍ර‍ණය කරවීමේ දී ශෝධ්‍ය පත්‍ර‍ බැලීම් ආදි සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්‍ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් කිරිඔරුවේ ධම්මානන්ද භික්ෂු නමගේ සහාය ඇතිව කරන ලදී. මේ පොත ඉක්මනින් මුද්‍ර‍ණය කර දුන් පන්නිපිටියේ තිලක් මුද්‍ර‍ණාලයේ ඇම්.ජේ. පෙරේරා මහතා ප්‍ර‍මුඛ සේවක පිරිසට ද පින් සිදුවේවා.

මීට, ශාසනස්ථිතිකාමි

රේරුකානේ චන්දවිමල මහා ස්ථවිර

2517 (1973) සැප්තැම්බර් 7 වැනි දින.

පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.

ජාතික අභියෝගය …

දීර්ඝකාලීණ විදේශ ආධිපත්‍යයෙන් නිදහස ලද ශ්‍රී ලංකාව, 19 වනසියවස තුළ ජාතිවාදී අරගල යන්ගෙන් හා ආගමික පීඩනයෙන් සිංහල බෞද්ධයා හෙම්බත් කළ සියවසක් විය. පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, අනගාරික ධර්‍මපාල තුමා, එල්.එච්. මෙත්තානන්‍ද, ශ්‍රී චන්‍ද්‍ර‍රත්න මානවසිංහ වැනි විරුවන් මේ අරබයා ජාතිය දැනුවත් කර පාලනයට අභියෝග කළ අතර, 2500 ශ්‍රී බුද්ධ ජයන්ති උත්සවය නිසා යම් අස්වැසිල්ලක් ලැබීමට හැකි විය.

අපේ ම පාලකයන් විදේශ පාලකයන්ගේ ඊළඟ පුරුකක් වූ නිසා ස්වදේශිකයන් කුමන අංශයකින්වත් නිදහස් ලැබූ ජාතියක් නොවී ය.

2006.01.08 වන දිනට සියවසක් සපුරන ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ පූජ්‍යපාද රේරුකානේ චන්‍දවිමල මහානාහිමි සරල දහම් පොත් මගින් ආගමික දැනුම ඇති කිරීමෙන් ද, පූජ්‍යපාද කහටපිටියේ සුමතිපාල නාහිමි භාවනා ක්‍ර‍ම ප්‍ර‍ගුණ කරවීමෙන් ද තීරණාත්මකව මේ අභියෝගවලට මුහුණ දිය හැකි ජාතියක් සකස් කිරීමට නිහඬව විපුල සේවයක් ඉටු කළහ.

නූතන තරුණ පරපුර මේ යුගයේ ඉතිහාසය විස්තරාත්මකව දැනගෙන, අනාගතය සකස් කර ගැනීමට උත්සාහවත්වීම අපේ පැතුමයි.