29. පමාදෝ

සාමාන්‍ය ජන ව්‍යවහාරයෙහි ප්‍ර‍මාද වන වචනයෙන් කියැවෙන්නේ යම්කිසි කාර්‍ය්‍යයක් කළ යුතු අවස්ථාවේදී නො කළ හැකිවීමට හා නො කර හැරීමට ය. මෙහි පමාද යනුවෙන් කියැවෙන්නේ අකුශල ධර්ම රාශිය ය. ගසක නටුවෙන් එල්ලී පවත්නා ගෙඩිය ගසේ තිබෙන්නේ පොළොවට බරව ය. නටුයෙන් මිදුණු වහාම එය පොළවට වැටෙන්නේ ය. වනයෙන් බැඳ ගෙන ආ කුළු ගොනා රැහැන නිසා මිනිසුන් අතර සිටිය ද ඌ නිතරම සිටින්නේ වනයට යාමේ බලාපොරොත්තුවෙනි. එමෙන් පෘථග්ජන සිත ද නිතරම පවත්නේ පඤ්ච කාමයන්ට හා දුශ්චරිතයන්ට බරව ය. ඒවා වෙතට නැමී ගෙන ය. පඤ්චකාමයට හා දුසිරිතට නැමී බරවී ඇළ වී පවත්නා සිත සුසිරිතයෙහි පවත්නේ සිහියේ බලයෙනි. සිහිය නමැති රැහැනින් මිදුණු වහා ම සිත පඤ්චකාමයට හා දුසිරිතයට ඇදී යන්නේ ය. පඤ්ච කාමයට හා දුසිරිතට යන්නට නොදී සිත කුශල ක්‍රියාවෙහි බැඳගෙන සිටින, සිහිය නමැති රැහැන අප්පමාද නම් වේ. සිහියෙන් තොර වීම පඤ්චකාමයන් වෙත හා දුසිරිතට යන පරිදි සිත මුදා හැරීම පමාද නම් වේ. ආහාර පාන ඇඳුම් පැලඳුම් වතු කුඹුරු ගෙවල් රථවාහන ඇඳ පුටු පාරිභෝගික භාණ්ඩ, මුදල් යනාදිය කාම වස්තුය. ඒවා සැපයීම් ආරක්‍ෂා කිරීම් භුක්ති විඳීම් වශයෙන් ඒවායේ සිත පැවැත්වීම ප්‍ර‍මාදයයි. අඹු දරු නෑ මිතුරු ආදීහු ද කාම වස්තූහු ය. ඔවුන් කෙරෙහි සිත පැවැත්වීම ප්‍ර‍මාදය ය. දුසිරිතෙහි යෙදීමත් ප්‍ර‍මාදය ය. දානාදි කුශලයන් කළත් මැනවින් නො කරන බව ද, නොසැලකිල්ලෙන් යන්තමින් කරන ස්වභාවය ද ප්‍ර‍මාදය ය. සැම කල්හි කුශල ක්‍රියාවන්හි නො යෙදෙන ස්වභාවය ද ප්‍ර‍මාදය ය. කටුස්සා නැවති නැවතී ගමන් කරන්නාක් මෙන් කලින් කල නවත්ව නවත්වා කුසල් කරන ස්වභාවය ද ප්‍ර‍මාදය ය.

පමාදමනුයුඤ්ජනති - බාලා දුම්මෙධිනෝ ජනා.

අප්පමාදඤ්ච මේධාවී - ධනං සෙට්ඨංච රක්ඛති.

(ධම්මපද)

නුවණ නැත්තා වූ දෙලෝ වැඩ නො දන්නා වූ පුද්ගලයෝ ප්‍ර‍මාදයෙහි යෙදෙති. නුවණැත්තේ ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් අප්‍ර‍මාදය ආරක්‍ෂා කෙරේ.