34. පාපිච්ඡතා

නැති ගුණ දැක්වීමේ ආශාව, නැති ගුණ දක්වා ගිහියන් පහදවා ප්‍ර‍ත්‍යයන් ලබා ගැනීමේ ආශාව පාපිච්ඡතා නම් වේ. මෙය පැවිද්දන්ට ඇති වන ක්ලේශයකි. ලාභ ප්‍රයෝජන ලබනු සඳහා නැති ගුණ පෙන්වන ගිහියන්ට ද මෙය ඇත. පාපිච්ඡතාව ඇති භික්ෂු තෙමේ තමා වත් පිළිවෙත් නො කරන කිසි ශ්‍ර‍ද්ධාවක් නැති ව සිට ම මිනිසුන් පැමිණෙන අවස්ථාවන්හි තමාගේ ශ්‍ර‍ද්ධාවත් බව දක්වා ඔවුන් රවටනු පිණිස පත්කඩක් ගෙන විහාර චෛත්‍ය බෝධි සමීපයේ හැසිරෙයි. සෑමලු බෝමලු හැමදීම කරයි, කසළ ඉවත් කරයි. බෝධියට පැන් වත් කරයි. මලසුන් පිරිසිදු කරයි. තමා භාවනා නො කරතත් භාවනා කරන ආසන, භාවනා කරන ස්ථාන, සක්මන්මලු පිළියෙල කර තබා ගනී. තමා සිල්වතකු නො වීම අන්‍යයන් හමුවෙහි මිනිසුන්ට ඇසෙන සේ විනය ගැන කථා කරයි. අන්‍යයන් කරන වරදවල් ගැන තමාගේ සංවේගය ප්‍ර‍කාශ කරයි. ශාසනයේ පිරිහීම ගැන කථා කරයි. ශාසනය දියුණු කිරීමේ වැඩ යෝජනා කරයි. තමා නූගතකු වුව ද උගත් බව පණ්ඩිත බව දැක්වීම පිණිස “අහවල් පිරිවෙනට අහවල් විද්‍යාලයට මා පත් කර ගැනීමට කථා කළා ය. ඕවට ගියාම භාවනාවක් කරන්නටවත් අවකාශයක් නො ලැබෙන නිසා මා ගියේ නැත. දැනට පණ්ඩිතයෝ ය උපාධිධරයෝ ය කියා සිටින බොහෝ දෙනා ඔවුන් ගේ නොයෙක් ප්‍ර‍ශ්න විසඳා ගැනීමට පැමිණෙන්නේ අප වෙතය” යනාදිය කියයි. තමා විවේකකාමියකු අල්පේච්ඡයකු බව හැඟවීම පිණිස නගරයක ගමක ජනාකීර්ණ පන්සලක වෙසෙමින් පැමිණෙන ජනයාට “අපට වී ඇත්තේ මහ කරදරයෙක, මෙවැනි ජනාකීර්ණ තැන්වල විසීම අපගේ වැඩවලට බාධාවෙක, අපට වුවමනා ආරණ්‍යයක හෝ එවැනි විවේක ස්ථානයක හෝ විසීමය. එහෙත් මේ මිනිසුන් අපට එයට ඉඩ දෙන්නේ නැත. ඒ නිසා මෙහි රැඳී සිටින්නට සිදු වී තිබෙනවාය” යි කියා මෙසේ මිනිසුන් පහදවා බොහෝ ප්‍ර‍ත්‍යයන් ලබා ගෙන ඒවා පමණ ඉක්මවා පරිභෝග කරමින් විසීම පාපිච්ඡ භික්ෂුවගේ ස්වභාවය ය. පාපිච්ඡතාව නපුරු පාපයෙකි. මෙකල රහත් බව අඟවන කුහකයන් ගැන අසන්නට ලැබේ. බොහෝ රහතන් විසූ අතීත කාලයේත් ඇතැම් කුහකයන් ප්‍ර‍ත්‍යය ලැබීම සඳහා නැති රහත්කම් ද මිනිසුන්ට ඇඟවූහ. විභංග අටුවාවෙහි පාපිච්ඡාවෙන් මඩනා ලදුව මිනිසුන්ට රහත් බව අඟවමින් විසූ කුහක භික්ෂූන් දෙදෙනකුගේ කථා දක්වා ඇත. ඒවා මෙසේ ය.

එක් කුහක භික්ෂුවක් ඔහු වෙසෙන කාමරයේ මහ සැළියක් වළලා තබා ගෙන මිනිසුන් එන විට එහි සැඟවෙයි. මිනිසුන් අවුත් හාමුදුරුවෝ කොහිදැ යි ඔහුගේ අනුචරයන්ගෙන් අසන විට හාමුදුරුවෝ කාමරයේ වැඩ සිටිති යි කියති. මිනිසුන් කාමරයට පිවිස බලා භික්ෂුව නොදැක පිටතට අවුත් එහි නැත ය යි කියති. ඒ හඬ ඇසෙන විට භික්ෂුව සැළියෙන් පිටතට අවුත් අසුනෙක්හි හිඳ ගනී. සෙස්සෝ මිනිසුන්ට හාමුදුරුවෝ කාමරයේමය” යි කියති. මිනිස්සු නැවත කාමරයට පිවිස බලති. අසුනක ඉඳිනා භික්ෂුව ඔවුහු දකිති. මිනිස්සු භික්ෂුව දැක පුදුම වී “නුඹ වහන්සේ දක්නට මඳකට කලින් අපි මෙහි පැමිණියෙමු ය. එහෙත් නුදුටුයෙමුය” යි කියති. කුහක භික්ෂු තෙමේ තමා රහත් කෙනකැයි ඔවුන්ට ඇඟවීම සඳහා “භික්ෂූහු රිසි රිසි තැන්වලට යන්නාහ. භික්‍ෂූන්ගේ ගමන් ගැන නො ඇසිය යුතුය”යි කියයි. මිනිස්සු මේ හාමුදුරුවෝ සෘද්ධිමත් රහත් කෙනෙකැයි සිතා වඩ වඩා පූජා සත්කාර කරන්නාහ.

එක්තරා කුහක භික්ෂුවක් කඳු ගැටයක් මත පන්සලක වෙසෙයි. පන්සලේ පිටුපස ප්‍ර‍පාතයකි. ඒ නිසා ඒ පැත්තෙන් මිනිසුන්ට යාම ඒම නො කළ හැකි ය. කඳු බෑවුමේ වැවී තුබූ ගසක මුලක්, යට සම බිමට සම්බන්ධ වී පිහිටා තිබුණේ ය. කුහක භික්ෂුව පිණ්ඩපාතාදිය සඳහා තමාට ආරාධනා කරන්නට එන මිනිසුන් පිටත් කර යවා මම පසුව එන්නෙමියි කියා ඒ මුලේ එල්ලී කන්දෙන් බැස ඔවුනට පළමුව ගම දොරට ගොස් සිටී. මිනිසුන් විසින් නුඹ වහන්සේ අපට පෙර මෙහි පැමිණිායේ කෙසේදැයි අසන කල්හි “පැවිද්දෝ තමන්ට රිසි මාර්ගවලින් යන්නාහ. ඒවා ගැන නො ඇසිය යුතුය” යි කියයි. මිනිස්සු මුන්වහන්සේ රහත් කෙනෙකැයි සිතා වඩ වඩා පූජා සත්කාර කරති. කුහක මහණාගේ රහස දැනගත් අයෙක් රහසිගතව මුල කපා භික්ෂුව බස්නා කල්හි කඩා හැළෙන පරිදි මඳක් ඉතිරි කොට තැබීය. එදින් රහත් බව පෙන්වීමට ගිය කුහක භික්ෂුව ප්‍ර‍පාතයෙන් වැටී පාත්‍ර‍ය ද බිඳගෙන පලා ගියේ ය.