19. අහිරික 20. අනොත්තප්ප

පාපය අසූචිය සේ පිළිකුල් දෙයකි. පව් කිරීම මුහුණෙහි අසූචි තවරා ගැනීම වැනි ලැජ්ජා විය යුතු දෙයකි. එසේ වූ පාපය පිළිකුල් නො කරන පව් කිරීමට ලැජ්ජා නො වන ස්වභාවය අහිරික නම් වේ. පාපය උසස් දෙයක් කොට සැලකීම, පව්කිරීම සම්මානයට සුදුස්සක් කොට සැලකීම අහිරිකය ය. මෙලොව පරලොව දෙක්හි ම අනිෂ්ට විපාක ලැබෙන දෙයක් බැවින් පාපය බිය විය යුත්තකි. පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්ප නම් වේ. පව් කිරීම වික්‍ර‍මයක් කොට සැලකීම අනොත්තප්පය ය. අහිරික අනොත්තප්ප යන මේ චෛතසික ධර්ම දෙක ඔවුනොවුන්ගෙන් වෙන් නොවූ සැම කල්හි ම එක්ව එක සිතක ඇතිවන ධර්ම දෙකකි. මේ දෙක අකුසලකරණයට ඇති මහා බල දෙක ය. මේ බල දෙක නැතිනම් පිළිකුල් කළ යුතු බිය විය යුතු අකුශලයන් නො කළ හැකි ය. ප්‍රාණවධය ලජ්ජා විය යුතු පාපයෙකි. එය කළ හැකි වන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනී මැරීම ඉතා භයානක පාපයෙකි. ඇතැමුන් එය කරන්නේ අහිරික අනොත්තප්පයන්ගේ බලයෙනි. මිනීමරුවන් හා මෙපමණ මිනිසුන් මරා ඇත්තේ ය යි ආඩම්බර වන්නේ නිර්භීත භාවය පවසන්නේ අහිරික අනොත්තප්ප බලයෙනි. පිළිකුල් කළ යුතු බිය විය යුතු සොරකම් කරන්නේ ද, පරදාර සේවනය කරන්නේ ද, බොරු කියන්නේ ද, සුරාපානය කරන්නේ ද, අහිරික අනොත්තප්ප බලයෙන් ම ය. අහිරික අනොත්තප්ප දෙකට විරුද්ධ හිරි ඔත්තප්ප නම් වූ කුශල පක්ෂයට අයත් ධර්ම දෙකක් ඇත්තේ ය. “ද්වේ මේ භික්ඛවේ ඡ ධම්මා සුක්කා ලෝකං පාලෙන්ති. කතමේ ද්වේ හිරී ච ඔත්තප්පං ච” යනුවෙන් හිරි ඔත්තප්ප ධර්ම දෙක ලෝකය පාලනය කරන ධර්මයෝ ය යි වදාරා ඇත්තේ ය. ලෝකය රැකෙන්නේ හිරි ඔත්තප්ප දෙකෙනි. මිනිසුන් අතර ඒ ධර්ම දෙක නැති නම් මාපියන් දූදරුවන් සහෝදර සහෝදරියන් වෙනසක් නැතිව හැසිර මිනිස් සමූහයත් තිරිසනුන් වන්නාහ. ඒ දේශනය අනුව අහිරික අනොත්තප්ප යන මේ ධර්ම දෙක ලෝකනාශක ධර්මයයි කිය යුතුය.

හිරිඔත්තප්ප සම්පන්නා - සුක්කධම්ම සමාහිතා.

සන්තෝ සප්පුරිසා ලෝකේ - දේවධම්මානි වුච්චරේ

(ජාතකපාලි)

යනුවෙන් හිරි ඔතප් දෙක දේවධර්මය යි වදාරා ඇත්තේ ය. ඒ අනුව අහිරික අනොත්තප්ප දෙක තිරශ්චීන ධර්මය යි කිය යුතු ය. ඒ ධර්ම දෙක ඇති බැවින් තිරිසනාට වළකින්නට දෙයක් නැත. කිනම් නීච ක්‍රියාවක් වුවද තිරිසනාට කළ හැකි ය.

අජේගුච්ඡ අහිරිකෝ - පාපා ගූථාව සූකරෝ

අහීරු ච අනොත්තප්පී - සලහෝ විය පාවක.

ගූථය පිළිකුල් නො කරන සූකරයා මෙන් අහිරිකයා පාපය පිළිකුල් නො කරන්නේ ය. පළඟැටියා ගින්නට බිය නො වන්නාක් මෙන් අනොත්තප්පය ඇත්තේ පාපයට බිය නො වන්නේ ය.

අහිරික අනොත්තප්ප නමැති ලෝක නාශක තිරශ්චීන ධර්ම දෙක හිරිඔතප් නමැති ලෝකපාලක බල ධර්ම දෙක ඇති කර ගැනීමෙන් දුර ලිය යුතුය. ජාතිය වයස ශූරභාවය උගත්බව යන මේ කරුණු සලකා අහිරිකය දුරු කළ හැකිය. මේ පව් කිරීම වැදි කෙවුල් සැඩොල් ආදීන්ට මිස මා වැනි ජාතිසම්පන්නයකුට නුසුදුසුය යි සැලකීමෙන් හිරිය ඇතිවී අහිරිකය දුරු වේ. මේ පව් කිරීම කොල්ලන් කෙල්ලන්ට මිස මා වැනි වෘද්ධයකුට නුසුදුසුය යි වයස සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීම කිසිවකට සමත් කමක් නැති අවාසනාවත් පුද්ගලයන්ට මිස දැහැමින් ජීවත් වීමට සමත් මා වැනියන්ට නුසුදුසුය යි ශූරභාවය සැලකීමෙන් හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව්කම් කිරීම අඥයන්ගේ ක්‍රියාවෙක, මා වැනි පණ්ඩිතයකු උගතකුට පව් කිරීම නුසුදුසු ය යි උගත් බව සැලකීමෙන් ද හිරිය ඇති වී අහිරිකය දුරු වේ. පව් කිරීමෙන් මෙ ලොව සිදු විය හැකි සත්පුරුෂයන් විසින් බැහැර කරනු ලැබ බොහෝ ජනයාගේ පිළිකුලට භාජනවීම, අපකීර්තිය පැතිරීම, දඬුවම් ලැබීම යන මේවාත් මරණින් මතු අපාගත වීමත් සැලකීමෙන් ඔත්තප්පය ඇති වී අනොත්තප්පය දුරු වේ.