මාපියන් විසින් ගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කළ උපකාර වලින් දියුණු වී, මා මාගේ වීර්‍ය්‍යයෙන් ම දියුණු වූවා මිස මට කවුරුන් වත් කළ දෙයක් නැත. කාගෙන්වත් මට උවමනාවක් ද නැත කියා කළ ගුණ අවලංගු කරන ස්වභාවය මක්ඛ නම් වේ. ගුණමකු බවය යනු ද එයට නමෙකි. එය ද්වේෂයේ ම ආකාර විශේෂයකි.
අනිකකුගෙන් උපකාර ලබා ගත්තා වූ හෝ ලබමින් සිටින්නා වූ හෝ ඇතැමෙක් යම්කිසි කරුණකින් කෝප වූ විට, මට ඔබ කළ දෙයක් නැත, ඔබෙන් මට වුවමනාවකුත් නැත, කියා ගුණ අවලංගු කරයි. ජීවත්වීමට පවා ක්‍රමයක් නොමැතිව අසරණ ව සිටි ඇතැම් අසත්පුරුෂයෙක් යම්කිසි කාරුණකියකුගේ උපකාරයෙන් දියුණු වූ පසු උසස් තත්ත්වයට පැමිණි පසු උපකාර කළ සත්පුරුෂයා හමු වී ඒ ගැන කථා කළ හොත් ඔබෙන් ලත් සතයකුදු මා වෙත නැත. මා දියුණු වී සිටින්නේ කාගේවත් උදව්වකින් නොව මාගේ උත්සාහයෙනැයි කියා කළ ගුණ අවලංගු කරයි. ඇතැම් පාපී ශ්‍රමණයෝ ද සාමණේර කාලයේ පටන් සිවුපසය සපයා දෙමින් ලෙඩ දුකට පිහිට වෙමින් අධ්‍යාපනයක් ලබා දෙමින් උපකාර කළ ගුරුවරුන්ගේ ගුණ අමතක කරති. ගුරුවරුන්ගේ උපකාරයෙන් දියුණු වී, මහජනයාගෙන් පුද සත්කාර ලබන, උසස් අයගෙන් සැලකිලි ලබන තත්ත්වයට පැමිණි පසු මා මේ තත්ත්වයට පැමිණියේ කාගේවත් උපකාරයකින් නොව මාගේ නුවණින් මාගේ උත්සාහයෙනැයි කියමින් කළගුණ නසති. මෙසේ කළගුණ අවලංගු කර ගුණ කළ අයගේ සිත් රිදවීම මත් අසත්පුරුෂ කමෙකි. මහත් පාපයෙකි. එහි විපාක වශයෙන් ඇතැම්හු මෙලොවදී ම නැවත පිරිහීමට පත් වෙති, ඇතැම්හු නපුරු රෝග වැළඳී බෝකල් දුක් විඳ ධනයත් අවසන් කර ගෙන මිය යති. මෙහි සත්‍යතාව ලෝකය දෙස විමසිල්ලෙන් බලන්නවුන්ට තේරුම් ගත හැකි වනු ඇත.
තමාට වඩා ගුණයෙන් උසස් අය හා තමා සම කොට ගන්නා ස්වභාවය පලාස නම් වේ. සිල්වත්හු ය, ආරණ්‍යකයෝ ය, පිණ්ඩපාතිකයෝ ය, පණ්ඩිතයෝ ය, කාරුණිකයේ ය, ශාසන සේවකයෝ ය, ශාසන ශෝධකයෝ ය යි කියමින් සිටින අයගේත් අපගේත් ඇති වෙනසක් නැත. ඔවුන්ට කළ හැකි හැම දෙයක් ම අපටත් කළ හැකිය. ඔවුහු ද අප මෙන් මැරෙන්නෝ ය. මරණින් පසු ඔවුනට යාමට අමුතු ලෝකයක් නැත යනාදීන් පලාසය ඇතියෝ ගුණවතුන් හා තමා සම කොට සිතති. සම කොට කථා කරති. එද ඒ ආකාරයෙන් පවත්නා මානය ම ය.